යුනියන් බැංකුව 2023 පළමු කාර්තුව සඳහා ශක්තිමත් ආදායම් වර්ධනයක් අත්කර ගනී

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (IMF) විසින් අනුමත කරන ලද විස්තීරණ අරමුදල් පහසුකම (EFF) හේතුවෙන් 2023 පළමු කාර්තුව තුළ ශ්‍රී ලාංකේය ආර්ථිකය තුළ අඛණ්ඩ වර්ධන තත්ත්වයක් දැකගත හැකි විය. කැපීපෙනෙන ලෙස විදේශ විනිමය අනුපාත අගය වැඩි වීම, උද්ධමනය පාලනය වීම, භාණ්ඩාගාර බිල්පත් අගය සැලකිය යුතු මට්ටමින් පහත වැටීම සහ තෝරාගත් භාණ්ඩ සඳහා පනවන ලද ආනයන සීමා හේතුවෙන් බැංකු ක්ෂේත්‍රයට සිය ව්‍යාපාරික අවධානය ප්‍රතිගැලපුම්කරණයට ලක් කිරීමට සිදු විය. ශක්තිමත් ප්‍රාග්ධනකරණය හරහා බැංකුකරණ පද්ධතිය ස්ථාවරව පවත්වා ගැනීමේ වැදගත්කම ජාත්‍යන්තර මුල්‍ය අරමුදල යළිත් අවධාරණය කරමින් සිටින මොහොතක, යුනියන් බැංකුව නියාමන අවශ්‍යතාවලට ඉහළ මට්ටමකින් සිය ප්‍රාග්ධන මට්ටම පවත්වා ගනිමින් නොසැලී සිටී.

2023 පළමු කාර්තුව තුළ යුනියන් බැංකුවේ සමස්ත ආදායම රු. මිලියන 2,064 ක් දක්වා වර්ධනය වූ අතර, එය පසුගිය වසරේ පළමු කාර්තුව සමග සැසඳීමේදී 25% ක වර්ධනයකි. සැලකිලිමත් ලෙස නව ව්‍යාපාරික අවස්ථා හිමිකර ගන්නා අතර ව්‍යාපාරික කටයුතු ඉතා ප්‍රවේසමින් කළමනාකරණය කිරීමේ ප්‍රතිඵලයක් ලෙස බැංකුවේ මූලික බැංකුකරණ කාර්යසාධනය වර්ධනය වීම මෙම වර්ධනයට ප්‍රධාන වශයෙන් බලපෑවේය.

බැංකුවේ ශුද්ධ පොළී ආදායමේ (NII) සිදු වූ වර්ධනය මෙම ආදායම් වර්ධනයට ප්‍රධාන වශයෙන් දායක විය. එය, රු. මිලියන 1,622 ක් දක්වා 49% ක වර්ධනයක් වූ අතර, ණය සේවාවල සහ භාණ්ඩාගාර වත්කම්වල ප්‍රතිමිලකරණය හේතුවෙන් හිමි වූ ආදායම මත පදනම් විය. අන්තර්-බැංකු වෙළෙඳපොළ අවස්ථාවලින් ඵල නෙලා ගන්නා අතරම බැංකුවේ භාණ්ඩාගාරය රජයේ සුරැකුම්පත් දූරදර්ශී ලෙස කළමනාකරණය කළේය. වත්කම් පොත නියමිත කාලයට ප්‍රතිමිලකරණය කිරීම සහ පොළී වියදම් දූරදර්ශී ලෙස කළමනාකරණය කිරීම හේතුවෙන් බැංකුවේ ශුද්ධ පොළී ආන්තිකය (NIM) 172bps අගයකින් ඉහළ ගියේය. වෙළෙඳ ව්‍යාපාර අංශයේ සිදු වූ කැපීපෙනෙන වර්ධනය සහ තැන්පතුවලට අදාළ ගාස්තු සහ ක්‍රෙඩිට් කාඩ්පත් ගාස්තු හේතුවෙන් බැංකුවේ ශුද්ධ ගාස්තු සහ කොමිස් ආදායම ද 26% කින් රු. මිලියන 321 ක් දක්වා වර්ධනය විය.

පසුගිය වසරේ පළමු කාර්තුව තුළ රුපියල අවප්‍රමාණය වීම හේතුවෙන් බැංකුවට සැලකියයුතු මට්ටමේ විදේශ විනිමය ආදායමක් හිමිකර ගැනීමට හැකි වූ අතර, මෙම වසරේ පළමු කාර්තුව තුළ රුපියල අධිප්‍රමාණය වීම බැංකුවේ වෙනත් මෙහෙයුම් ආදායමට අහිතකර ලෙස බලපෑවේය. ඒ අනුව බැංකුවේ වෙනත් මෙහෙයුම් ආදායම රු. මිලියන 9.2 ක් දක්වා 97% කින් පහත වැටුණු අතර එය බැංකුවේ ලාභ මට්ටමට අහිතකර ලෙස බලපෑවේය.

අයකර ගැනීමේ සහ එකතුකර ගැනීමේ ක්‍රියාකාරකම් වෙතට එල්ල වූ අඛණ්ඩ අභියෝග හමුවේ බැංකුවට දූරදර්ශී ලෙස අපහායන වියදම් කළමනාකරණයකර ගැනීමට සිදු වූ අතර එය බැංකුවේ ලාභ මට්ටමට අහිතකර ලෙස බලපෑවේය. එහි ප්‍රතිඵලයක් ලෙස පළමු කාර්තුව තුළ බැංකුවේ අපහායන ගාස්තු රු. මිලියන 450 ක් ලෙස වාර්තා වූ අතර, එය පසුගිය වසරේ පළමු කාර්තුව සමග සැසඳීමේදී 56% ක වර්ධනයකි.

දැඩි පිරිවැය කළමනාකරණ ක්‍රියාමාර්ග මධ්‍යයේ වුවද, උද්ධමනය හේතුවෙන් පසුගිය වසරේ පළමු කාර්තුවට සාපේක්ෂව මෙම වසරේ පළමු කාර්තුව තුළ බැංකුවේ සමස්ත මෙහෙයුම් වියදම් රු. මිලියන 1,213 ක් දක්වා 23% කින් වර්ධනය විය. එහි ප්‍රතිඵලයක් ලෙස බැංකුවේ මෙහෙයුම් ක්‍රියාකාරකම්වල ප්‍රතිඵල රු. මිලියන 401 ක් ලෙස වාර්තා විය.

අනු සමාගම්වල ගිණුම්ගත කොටස් ද ඇතුළුව බැංකුවේ සියලු බදු පෙර ලාභය රු. මිලියන 422 ක් ලෙස ද බදු පසු ලාභය (PAT) රු. මිලියන 145 ක් ලෙස ද වාර්තා විය. පසුගිය වසරේ පළමු කාර්තුව සමග සැසඳීමේදී, ආයතනික බදු, වැට් බදු සහ සමාජ ආරක්ෂණ දායකත්ව බදුවල සිදු වූ කැපීපෙනෙන වැඩිවීම බැංකුවේ වත්මන් ශුද්ධ ලාභයට අහිතකර ලෙස බලපෑවේය.

2023 මාර්තු 31 වනදා වන විට බැංකුවේ සමස්ත වත්කම් ප්‍රමාණය රු. මිලියන 118,800 ක් ලෙස වාර්තා විය. වෙළෙඳපොළේ සීමිත අවස්ථා සහ, ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අධිප්‍රමාණය වීමේ ප්‍රතිඵලයක් ලෙස විදේශ විනිමය ණය ප්‍රතිප්‍රමාණය කිරීම හේතුවෙන් බැංකුවේ ණය සහ අත්තිකාරම් රු. මිලියන 62,978 ක් දක්වා යම් අඩුවක් පෙන්නුම් කළේය. එමෙන්ම, විදේශ විනිමය තැන්පතුවල සිදු කෙරුණු අවරෝහණ ප්‍රතිප්‍රමාණය කිරීම හේතුවෙන් බැංකුවේ වගකීම් පොතෙහි පහල යාමක් පෙන්නුම් කළේය. පළමු කාර්තුව තුළ බැංකුව ශ්‍රී ලංකා රුපියල් මෙන්ම විදේශ මුදල් ඒකක මත ද ශක්තිමත් ද්‍රවශීලතා මට්ටමක් පවත්වා ගැනීමට සමත් වූ අතර, පළමු කාර්තුව අවසානවන විට බැංකුවේ තැන්පතු ප්‍රමාණය රු. මිලියන 90,250 ක් ලෙස වාර්තා විය. දූරදර්ශී ලෙස තැන්පතු ක්‍රියාවේ යෙදවීම සහ ක්‍රමෝපායික වශයෙන් ආන්තික කළමනාකරණය කිරීම එම ප්‍රතිඵලවලට පදනම් විය. CASA ( ජංගම සහ ඉතුරුම් ගිණුම් ) අනුපාතිකය ද 25.5% කින් වර්ධනය විය. බැංකුවේ සමස්ත ප්‍රාග්ධන අනුපාතිකය 18.55% ක් ලෙස, නියාමන සීමාවලට වඩා ඉහළ මට්ටමක සටහන් විය.

යුනියන් බෑන්ක් ඔෆ් කලම්බෝ පීඑල්සී (Union Bank of Colombo PLC), UB Finance Company Ltd සහ National Asset Management Ltd යන සමාගම්වලින් සැදුම්ලත් යුනියන් බැංකු සමූහය, 2023 පළමු කාර්තුව සඳහා රු. මිලියන 496 ක සියලු බදු පෙර ලාභයක් සහ රු. මිලියන 174 ක බදු පසු ලාභයක් වාර්තා කළේය. සමූහයේ සමස්ත වත්කම් ප්‍රමාණය රු. මිලියන 125,803 ක් ලෙස වාර්තා වූ අතර ඉන් 94% ක ප්‍රමාණයක් සඳහා දායක වූයේ බැංකුවයි.

සමාලෝචන කාලය තුළ, Transparency International ශ්‍රී Lanka (TISL) ආයතනය විනිවිදභාවය වෙනුවෙන් මෙරට පොදු සීමිත වගකීම් සමාගම් 100 අතරට යුනියන් බැංකුව ශ්‍රේණිගත කළේය. 2022 වසර සඳහා බැංකුව එම සමාගම් 100 අතරින් 14 වන ස්ථානයේ ශ්‍රේණිගත කෙරුණු අතර, ආයතනික විනිවිදභාවය යන කාණ්ඩය යටතේ ‘මුළුමනින්ම විනිදභාවයෙන් යුතු’ ලෙස ද, දූෂණ විරෝධී සහ දේශීය මුල්‍යයන වාර්තාකරණය යන කාණ්ඩය යටතේ ‘කැපීපෙනෙන ලෙස විනිවිදභාවයෙන් යුතු’ ලෙස ශ්‍රේණිගත විය.

බැංකු

  • Amana Bank PLC
  • Bank of Ceylon
  • Cargills Bank Ltd
  • Citibank
  • Commercial Bank of Ceylon PLC
  • DFCC Bank
  • Hatton National Bank PLC
  • HDFC Bank
  • HSBC Ltd
  • National Development Bank PLC
  • Nations Trust Bank
  • Pan Asia Banking Corporation
  • People’s Bank
  • Public Bank Berhard
  • Sampath Bank PLC
  • Seylan Bank PLC
  • Standard Chartered Bank

ආයතන

  • Merchant Bank of Sri Lanka Finance
  • Central Finance PLC
  • Commercial Leasing and Finance PLC
  • HNB Finance
  • LB Finance PLC
  • People’s Leasing and Finance PLC
  • Softlogic Finance Plc
  • Singer Finance (Lanka) PLC