අභියෝගාත්මක වාතාවරණය හමුවේ වුව ද යුනියන් බැංකුව තුන්වන කාර්තුව තුළ ශක්තිමත් කාර්යසාධනයක් වාර්තා කරයි

මුල්‍ය වර්ෂයේ තුන්වන කාර්තුව පුරාම පැවති අවිනිශ්චිත සාර්ව ආර්ථික වාතාවරණය මධ්‍යයේ වුව ද සිය දූරදර්ශී පිරිවැය සහ සේවා පෙළ කළමනාකරණය හරහා අඛණ්ඩව නොසැලී සිටීමට යුනියන් බැංකුව සමත්ව සිටී.

පවතින Covid-19 වසංගත තත්ත්වය හමුවේ මෙරට ආර්ථිකයේ තිරසාරත්වය දුර්වල වූ අතර එමගින් සමස්තයක් ලෙස රටේ ව්‍යාපාරික පසුබිමට ද දැවැන්ත බලපෑමක් ඇති විය. අභියෝගාත්මක ආර්ථික පසුබිම හමුවේ, යුනියන් බැංකුවේ සාමාන්‍ය ප්‍රමුඛ ණය අනුපාතය (AWPLAR) ආසන්න වශයෙන් 400bps ක වසරින් වසර අඩුවීමක් පෙන්නුම් කළ අතර, භාණ්ඩාගාර බිල්පත් අනුපාත ද තවදුරටත් පහල බැසීමේ ප්‍රවණතාවක් පෙන්නුම් කළේය. ගත වූ කාලය තුළ ශ්‍රී ලංකා මහ බැංකුවේ නිර්දේශ මත යුනියන් බැංකුව සිය ක්‍රෙඩිට් කාඩ්පත් ඇතුළු ණය සේවාවල පොළී අනුපාත පහත හෙළීමට කටයුතු කළේය. තවද, ‘සෞභාග්‍යා‘-Covid-19 පුනරුද සහන වැඩපිළිවෙල ඇතුළු ශ්‍රී ලංකා මහ බැංකුවේ ණය යෝජනා ක්‍රමවලට සහභාගී වෙමින් යුනියන් බැංකුව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සහ අපනයනකරුවන්ගේ කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සඳහා සහනදායී පොළී අනුපාත යටතේ ණය ලබා දීමට ද පියවර ගත්තේය.

Covid-19 වසංගත තත්ත්වය හමුවේ ඇති වූ අහිතකර ආර්ථික බලපෑම හේතුවෙන්, ව්‍යාපාර සහ පාරිභෝගිකයන් වඩාත් බැංකු ක්ෂේත්‍රය වෙතට නැඹුරු වූ බැවින්, බැංකුවේ කාර්යමණ්ඩලයේත්, පාරිභෝගිකයන්ගේත්, වෙනත් පාර්ශ්වකරුවන්ගේත් සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරීම සඳහා සෞඛ්‍ය බලධාරීන් නිකුත් කරන ලද ආරක්ෂණ මාර්ගෝපදේශවලට අනුකූලව සිය මෙහෙයුම් කටයුතු පවත්වාගෙන යන අතර පාරිභෝගිකයන් හට මුල්‍යමය වශයෙන් සහයෝගය ලබා දීම ඉලක්ක කර ගනිමින් එම බැංකුව අඛණ්ඩව Covid-19 වසංගතයට අදාළ ප්‍රතිලාභී ණය පහසුකම් පිරිනැමීමට ද කටයුතු කළේය.

ශීඝ්‍රයෙන් පැන නැගුනු අභියෝග රැසක් මධ්‍යයේ යුනියන් බැංකුව දූරදර්ශී ලෙස සිය අමතර ද්‍රවශීලතා මට්ටම පවත්වා ගැනීමට සමත් විය. විමර්ශන කාලය තුළ, යුනියන් බැංකුවේ සාමාන්‍ය ස්ථාවර තැන්පතු ස්ථාවර මට්ටමක පැවතුනු අතර, සාමාන්‍ය CASA අගය රු. මිලියන 23,805 ක් ලෙස වාර්තා විය. එය පසුගිය වසරේ මෙම කාල පරිඡේදය සමග සැසඳීමේදී 18% ක වර්ධනයකි.

මෙම අසීරු කාල පරිච්ඡේදයේදී සිය පාරිභෝගික ජනතාවට සහයෝගය ලබාදීමට සහ පොළී අනුපාත අඩු කිරීමට කටයුතු කිරීම හේතුවෙන් බැංකුවේ ශුද්ධ පොළී ආන්තිකය (NIM) පසුගිය වසරේ මෙම කාලය සමග සැසඳීමේදී 3.8% සිට 3.3% දක්වා අඩු වීමක් පෙන්නුම් කළේය.

වසංගත තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්ව සිටින පාරිභෝගිකයන් හට සහන ලබාදීම ඉලක්ක කර ගනිමින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද මාර්ගෝපදේශවලට අනුව, ප්‍රමාද ගාස්තු සහ වෙනත් ගාස්තු ඉවත් කිරීමට කටයුතු කිරීම සහ සමස්තයක් ලෙස රටේ ආර්ථික තත්ත්වය හේතුවෙන් පසුගිය මුල්‍ය වර්ෂයේ මෙම කාලය සමග සැසඳීමේදී සමස්ත ගාස්තු ආදායම 25% කින් අඩු වී ඇත.

විමර්ශන කාලය තුළ ඉතා කැපී පෙනෙන කාර්යසාධනයක් පෙන්නුම් කළ යුනියන් බැංකුවේ භාණ්ඩාගාරය, විශිෂ්ට වෙළෙඳ ලාභ/ප්‍රාග්ධන ලාභ සමගින් 108% ක වසරින් වසර වර්ධනයක් පෙන්නුම් කළේය. ගතවූ කාලය තුළ විනිමය අනුපාතවල පහත වැටීම හේතුවෙන් වෙනත් මෙහෙයුම් පිරිවැයවල වර්ධනයක් පෙන්නුම් කළේය.

මෙම අභියෝගාත්මක වාතාවරණය හමුවේ, යුනියන් බැංකුවේ මෙහෙයුම් ආදායම රු. මිලියන 1,692 ක් වූ අතර, පසුගිය වසරේ මෙම කාර්තුව සමග සැසඳීමේදී එය 3% ක අඩුවීමකි. යුනියන් බැංකුවේ දූරදර්ශී පිරිවැය කළමනාකරණ ක්‍රමෝපාය හරහා සමස්ත මෙහෙයුම් වියදම් කළමනාකරණය කර ගැනීමට බැංකුව සමත් විය. ඒ අනුව, බැංකුවේ සමස්ත මෙහෙයුම් වියදම් දෙවන කාර්තුවට වඩා රු. මිලියන 941 කින් අඩු කර ගැනීමට බැංකුව සමත් වූ අතර එය දෙවන කාර්තුවට වඩා 5% ක අඩුවීමකි. තවද, බැංකුවේ පූර්ව අපහායන ලාභය මෙම කාර්තුවේදී රු. මිලියන 751 ක් ලෙස වාර්තා වූ අතර එය පසුගිය වසරේ තුන්වන කාර්තුවේ පූර්ව අපහායන ලාභයට සමානය. බැංකුවේ නියම ණය අලාභය පහල මට්ටමක පැවති අතර, ක්‍රමයෙන් පහල වැටෙමින් පවතින වාතාවරණයට මුහුණ දීම සඳහා ආයෝජකයින්ගේ වෙන්-වෙන් ගිණුම් ගිණුම් එක්කිරීමට කටයුතු කෙරුණි. එහි ප්‍රතිඵලයක් ලෙස දෙවන කාර්තුවට සාපේක්ෂව අපහායන ගාස්තුවල 31% ක වර්ධනයක් පෙන්නුම් කළේය. Covid-19 සහන කාල ලබාදීම හරහා පළමු දිනයේදී ඇති වූ සමස්ත අලාභය, ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති -9 (SLFRS 9) ට අනුකූලව ප්‍රමාණාත්මතා නොවන සංශෝධන ක්‍රමයට අනුව අපහායන ගාස්තු යටතේ දක්වා ඇත.

අභියෝගාත්මක සාර්ව ආර්ථික වාතාවරණය හමුවේ මෙහෙයුම් ක්‍රියාකාරකම් හරහා පාලිත ප්‍රතිඵල අත්කර ගැනීමට සමත් වූ යුනියන් බැංකුව මෙහෙයුම් ක්‍රියාකාරකම් හරහා රු. මිලියන 470 ක් හිමිකර ගැනීමට සමත් වූ අතර එය පසුගිය වසරේ තුන්වන කාර්තුව සමග සැසඳීමේදී 12% ක අඩු වීමකි. බැංකුවේ අනු සමාගම්වන UB ෆිනෑන්ස් සහ NAMAL සමාගම්වල මෙහෙයුම් වාතාවරණය ද අතිශය අභියෝගාත්මක විය. බදු අනුපාත අඩු කිරීම සහ දූරදර්ශී ලෙස සංචිත කළමනාකරණය කිරීම හේතුවෙන්, බැංකුවේ අනු සමාගම්වල හිමිකාරිත්වය ඇතුළුව බැංකුව පසුගිය වසරේ තුන්වන කාර්තුවේ මට්ටම්වල ම බදු පසු ලාභය පවත්වා ගැනීමට සමත් විය.

මුල්‍ය වර්ෂයේ මේ දක්වා මෙහෙයුම් ආදායම රු. මිලියන 4,643 ක් වන අතර එම අගය පසුගිය වසරේ මෙම කාලයේදී වාර්තා වූ අගයට සමානය. බැංකුවේ පිරිවැය කළමනාකරණ ක්‍රියාමාර්ග හරහා සමස්ත මෙහෙයුම් පිරිවැය දූරදර්ශී ලෙස කළමනාකරණය කර ගැනීමට බැංකුව සමත් වූ අතර එම අගය රු. මිලියන 2,855 ක් දක්වා, 4% ක වසරින් වසර අඩු වීමකි. තවද, රු. මිලියන 1,787 ක් ලෙස සටහන් වූ බැංකුවේ පූර්ව අපහායන ලාභ, පසුගිය වසරේ මෙම කාලය සමග සැසඳීමේදී 7% ක වර්ධනයකි. බැංකුවේ සැබෑ ණය අලාභ අඩු මට්ටමක පැවතුනු අතර, වෙන්-වෙන් ගිණුම් එක්කිරීමට කටයුතු කෙරුණි. එහි ප්‍රතිඵලයක් ලෙස පසුගිය වසරේ මෙම කාලයට සාපේක්ෂව අපහායන ගාස්තුවල 59% ක වර්ධනයක් පෙන්නුම් කළේය. Covid-19 සහන කාල ලබාදීම හරහා පළමු දිනයේදී ඇති වූ සමස්ත අලාභය, ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති -9 (SLFRS 9) ට අනුකූලව ප්‍රමාණාත්මතා නොවන සංශෝධන ක්‍රමයට අනුව අපහායන ගාස්තු යටතේ දක්වා ඇත.

අභියෝගාත්මක සාර්ව ආර්ථික වාතාවරණය හමුවේ මෙහෙයුම් ක්‍රියාකාරකම් හරහා පාලිත ප්‍රතිඵල අත්කර ගැනීමට සමත් වූ යුනියන් බැංකුව මෙහෙයුම් ක්‍රියාකාරකම් හරහා මේ වසරේ මේ දක්වා රු. මිලියන 1,226 ක් හිමිකර ගැනීමට සමත් වූ අතර එය පසුගිය වසරේ මෙම කාලය සමග සැසඳීමේදී 7% ක අඩු වීමකි. බැංකුවේ අනු සමාගම්වන UB ෆිනෑන්ස් සහ NAMAL සමාගම්වල මෙහෙයුම් වාතාවරණය ද අතිශය අභියෝගාත්මක විය. බදු අනුපාත අඩු කිරීම සහ දූරදර්ශී ලෙස සංචිත කළමනාකරණය කිරීම හේතුවෙන්, බැංකුවේ අනු සමාගම්වල හිමිකාරිත්වය ඇතුළුව බැංකුව 3% ක බදු පසු වසරින් වසර ලාභයක් අත්කර ගැනීමට සමත් විය. බැංකුවේ සමස්ත පරිපූර්ණ ආදායම මේ වසරේ මේ දක්වා රු. මිලියන 812 කි.

බාහිර පීඩනය සහ මේ වසරේ මාර්තු මස සිට අඛණ්ඩව බිඳ වැටුණු සාර්ව ආර්ථික තත්ත්ව හමුවේ බැංකුවේ අක්‍රිය ණය ප්‍රතිශතය වාර්තාකරණ කාලය අවසානයේදී 5.48% ක් ලෙස වාර්තා වූ අතර පසුගිය වසරේදී එම ප්‍රතිශතය 5.03% ක් ලෙස වාර්තා විය. සිය සේවා පෙළෙහි ප්‍රමිතිය කළමනාකරණය කිරීම සඳහා බැංකුව අනුගමනය කළ දූරදර්ශී ක්‍රමෝපාය හේතුවෙන් දුර්වල ආර්ථික වාතාවරණය හමුවේ වුව ද අක්‍රිය ණය ප්‍රතිශතය පාලනය කිරීමට බැංකුවට හැකි විය.

සැප්තැම්බර් මස 30 වනදා වන විට බැංකුවේ සමස්ත වත්කම් ප්‍රමාණය රු. මිලියන 122,291 ක් ලෙස වාර්තා විය. බැංකුවේ ණය සහ අයවීම් මේ වසරේ මේ දක්වා රු. මිලියන 71,333 ක් ලෙස වාර්තා වූ අතර රු. මිලියන 81,958 ක් ලෙස වාර්තා වූ තැන්පතු පදනම 7% කින් වර්ධනය විය.

සිය ප්‍රාග්ධන ප්‍රමාණාත්මතා අනුපාත නියාමන අවශ්‍යතාවලට ඉහළින් පවත්වා ගැනීමට අඛණ්ඩව කටයුතු කළ යුනියන් බැංකුව, වාර්තාකරණ දිනයවන විට 16.26% ක සමස්ත ප්‍රාග්ධන අනුපාතයක් සමගින් ශක්තිමත් ප්‍රාග්ධන ප්‍රමාණාත්මතාවකට හිමිකම් කිවේය.

යුනියන් බැංකුවේ ශක්තිමත් ද්‍රවශීලතා තත්ත්වය සහ ස්ථාවරත්වය 2020 වසරේදී නිකුත් කළ නවත ම ෆිච් ශ්‍රේණිගත කිරීම් මගින් තවදුරටත් තහවුරු කෙරිණි.

යුනියන් බැංකුව සහ එහි අනු සමාගම්වන UB ෆිනෑන්ස් සහ National Asset Management Limited යන සමාගම්වලින් සමන්විත සමාගම් සමූහයේ බදු පෙර ලාභය රු. මිලියන 1,306 ක් ලෙස වාර්තා විය.

පසුගිය වසරේ මෙම කාලය සමග සැසඳීමේදී සමූහයේ බදු පසු ලාභය 5% කින් අඩු වී ඇත. සමූහයේ සමස්ත වත්කම් ප්‍රමාණය රු. මිලියන 129,008 ක් වූ අතර ඉන් 95% ක් බැංකුවේ වත්කම් වේ. වාර්තාකරණ දිනයවන විට සමූහය 16.41% ක ශක්තිමත් හර ප්‍රාග්ධන අනුපාතයක් පවත්වාගෙන යාමට සමත් විය.

2020 අප්‍රේල් මස සිට 2020 සැප්තැම්බර් මස 30 වනදා දක්වා කාලය තුළ යුනියන් බැංකුව ශ්‍රී ලංකා මහ බැංකුවේ නිර්දේශ අනුව පාරිභෝගිකයන්ගේ ණයවලට අදාළ මූලික මුදල සහ පොළිය යළි පියවීම සඳහා කාලය දීර්ඝ කරමින් ණය සහන ලබා දීමට කටයුතු කර තිබිණි. මෙම අභියෝගාත්මක කාලය තුළ නොසැලී ඉදිරියට ගමන් කිරීම සඳහා සිය පාරිභෝගිකයන් හට සහන ලබා දෙමින් යුනියන් බැංකුව යළි පියවීම් සඳහා සහන කාල සමගින් ණය පහසුකම් පිරිනැමීමට කටයුතු කළේය. ණය සහ කල්බදු, බැංකු අයිරා, උකස් සහ වෙළඳ මුල්‍ය පහසුකම් එම සහන වැඩපිළිවෙලට අයත් සේවා අතර විය.

රට යළි විවෘත කළ පසු සිය ආයතනික පාරිභෝගිකයන් යළි ස්ථාවර ලෙස ක්‍රමෝපායිකව නිසි දිශානතියට යොමු කිරීම සඳහා යුනියන් බැංකුව එම පාරිභෝගිකයන්ගේ අවශ්‍යතාවලට අනුව සැකසූ මුල්‍ය විසඳුම් සමගින් කඩිනමින් ඔවුන් වෙතට ළඟා වීමට කටයුතු කළේය. යුනියන් බැංකුවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශය, වසංගත තත්ත්වය හේතුවෙන් බලපෑමට ලක්ව සිටින ව්‍යවසායකයන් හට සිය ව්‍යාපාර සහ ජීවනෝපාය යළි නගාසිටුවීමට අවශ්‍ය සහයෝගය ලබා දීම අරමුණු කර ගනිමින් කටයුතු කළේය. මෙහිදී, ආර්ථික පුනරුදය සඳහා දියත් කෙරුණු ජාතික දැක්මට අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ ණය යෝජනා ක්‍රම වෙත යොමු කිරීම ද යුනියන් බැංකුව ගත් කැපීපෙනෙන පියවරකි. එලෙස ශ්‍රී ලංකා මහ බැංකුව ක්‍රියාත්මක කළ ‘සෞභාග්‍යා’ සහන ණය යෝජනා ක්‍රමයට සම්බන්ධ වෙමින් යුනියන් බැංකුව මේවන විට රු. බිලියන 1.3 ක කාරක ප්‍රාග්ධන ණය සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශයට ලබා දී ඇත. වසංගත තත්ත්වයෙන් පීඩාවට පත් පාරිභෝගිකයන් හට සහන ලබාදීමේ එක් පියවරක් ලෙස විවිධ සහන වැඩසටහන් යටතේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ණය අතරින් 58% කට සහන ලබා දීමට යුනියන් බැංකුව කටයුතු කළේය. මෙම සහන, අභියෝගාත්මක ආර්ථික තත්ත්වය හමුවේ සිය ව්‍යාපාර යළි ක්‍රමෝපායිකව ආරම්භ කිරීමට එම ව්‍යවසායකයන් හට මහඟු අත්වැලක් විය.

යුනියන් බැංකුවේ BizDirect සේවාව ද අඛණ්ඩව සිය ආයතනික සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය පාරිභෝගිකයන් හට අත්‍යවශ්‍ය ද්‍රවශීලතා කළමනාකරණ කාර්යක්ෂමතාව හිමිකර දෙමින්, මෙම අභියෝගාත්මක කාලය තුළ සිය සමාගම්වල ද්‍රවශීලතා මට්ටම් උපරිම මට්ටමට ගෙන ඒම සඳහා දූරදර්ශී සහ පහසු මුදල් කළමනාකරණ විශේෂඥ සේවාවක් පිරිනැමීමට කටයුතු කළේය. සම්ප්‍රදායික බැංකුකරණ ක්‍රමවලින් ඔබ්බට යමින් ඩිජිටල් විසඳුම් සඳහා ඇති ඉල්ලුම හේතුවෙන් මෙම විමර්ශන කාලය තුළ BizDirect සේවාවේ ආයතනික සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය පාරිභෝගික පදනම ද වර්ධනය විය.

යුනියන් බැංකුවේ පාරිභෝගික බැංකුකරණ අංශයේ වර්ධනය CASA අත්කර ගැනුම්, තැන්පතු එක්රැස් කිරීම් සහ ක්‍රෙඩිට් කාඩ්පත් අංශයේ වර්ධනය මත මූලික වශයෙන් පදනම් විය. තවද යුනියන් බැංකු කාඩ්පත් හරහා හෝටල්, ආහාර-පාන සහ සාප්පු සවාරි ඇතුළු ජීවන ශෛලීය දීමනා රැසක් පිරිනැමීමටත්, පොළී රහිත පහසු ගෙවීමේ ක්‍රම ලබා දීමටත් අඛණ්ඩව කටයුතු කෙරිණි. යුනියන් බැංකුවේ ඩිජිටල් බැංකුකරණ සේවා හරහා පාරිභෝගිකයන් හට ස්පර්ශයෙන් තොර සහ ආරක්‍ෂිත බැංකුකරණ අත්දැකීමක් හිමිකර ගැනීමට ද හැකි විය.

සෞඛ්‍ය බලධාරීන්ගේ මාර්ගෝපදේශවලට අනුව යුනියන් බැංකුව දැඩි සනීපාරක්ෂක සහ ආරක්ෂණ ක්‍රමවේද සිය ප්‍රධාන කාර්යාලය ඇතුළු ශාඛා ජාලය පුරාම ක්‍රියාත්මක කරමින් පාරිභෝගිකයන්ගේත්, කාර්යමණ්ඩල සාමාජිකයන්ගේත් සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරීම සඳහා සිය ප්‍රමුඛතාව ලබා දුන්නේය. සුරක්ෂිත බැංකුකරණ අත්දැකීමක් තහවුරු කරමින් ATM ජාලය, අන්තර්ජාල/ජංගම බැංකුකරණ සේවා සහ පැය 24 පුරා ක්‍රියාත්මක ඇමතුම් මධ්‍යස්ථානය වෙත පහසුවෙන් ප්‍රවේශ වීමේ අවස්ථාව ද යුනියන් බැංකුව පාරිභෝගිකයන්ට හිමිකර දුන්නේය.

යුනියන් බැංකුවේ කාර්යසාධනය පිළිබඳ අදහස් පළ කරමින් එම බැංකුවේ අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී ඉන්ද්‍රජිත් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ, මෙම අසීරු කාලය තුළ නොසැලී ඉදිරියට ගමන් කිරීම සඳහා සිය පාරිභෝගිකයන් හට සහයෝගය ලබා දෙන අතරම ශක්තිමත් ද්‍රවශීලතා තත්ත්වයක් පවත්වා ගැනීම කෙරෙහි සිය බැංකුව අවධානය යොමු කර ඇති බවය. “අභියෝගාත්මක වාතාවරණයක් හමුවේ යුනියන් බැංකුවේ නොසැලෙනසුළු බව තුන්වන කාර්තුවේ මුල්‍ය ප්‍රතිඵල මගින් පෙන්නුම් කරනවා. වර්තමානයේ මතුවී ඇති නව අභියෝග හමුවේ සැමවිටම අපගේ පාරිභෝගිකයන්ගේ සහ කාර්යමණ්ඩල සාමාජිකයන්ගේ සුබසිද්ධිය තහවුරු කරන අතර අඛණ්ඩව පාරිභෝගික ජනතාව සමග සම්බන්ධ වෙමින් ඔවුන්ගේ අවශ්‍යතාවලට අනුව සකස් කරන ලද මුල්‍ය සේවා පිරිනැමීමට අප බලාපොරොත්තු වනවා. ශක්තිමත් ද්‍රවශීලතා මට්ටමක් පවත්වා ගැනීම, ලාභය ඉදිරියට ගෙන යාම සහ දූරදර්ශී ලෙස සේවා පෙළ වර්ධනය කිරීම මුල්‍ය වර්ෂයේ අවසාන කාර්තුවේ අපගේ ප්‍රධාන ඉලක්ක වනවා.”

බැංකු

  • Amana Bank PLC
  • Bank of Ceylon
  • Cargills Bank Ltd
  • Citibank
  • Commercial Bank of Ceylon PLC
  • DFCC Bank
  • Hatton National Bank PLC
  • HDFC Bank
  • HSBC Ltd
  • National Development Bank PLC
  • Nations Trust Bank
  • Pan Asia Banking Corporation
  • People’s Bank
  • Public Bank Berhard
  • Sampath Bank PLC
  • Seylan Bank PLC
  • Standard Chartered Bank

ආයතන

  • Merchant Bank of Sri Lanka Finance
  • Central Finance PLC
  • Commercial Leasing and Finance PLC
  • HNB Finance
  • LB Finance PLC
  • People’s Leasing and Finance PLC
  • Softlogic Finance Plc
  • Singer Finance (Lanka) PLC