යුනියන් බැංකුව සිය නවීනත ම මුදල් කළමනාකරණ විසඳුමවන Biz Direct පහසුකමෙහි සාර්ථකත්වය යළිත් තහවුරු කරමින් Asian Banker Transaction Finance 2020 සම්මාන උළෙලේදී මෙරට විශිෂ්ටත ම මුදල් කළමනාකරණ බැංකුව ලෙස සම්මානයට පාත්‍ර විය.
Asian Banker Transaction Finance යනු ආසියා පැසිෆික්, මැදපෙරදිග සහ අප්‍රිකානු කලාපවල දේශීය සහ ජාත්‍යන්තර මුල්‍ය ආයතනවල මුදල් කළමනාකරණ, වෙළෙඳ මුල්‍යයන, සැපයුම් දාම මුල්‍යයන සහ ගෙවීම් ක්ෂේත්රවල ප්‍රමුඛයින් ඇගයුමට ලක් කරන වඩාත් දැඩි ක්‍රියාවලියකින් යුතු, කීර්තිමත් ම සහ විනිවිදභාවයෙන් යුතු වාර්ෂික සම්මාන වැඩසටහනයි.
මෙම සම්මානය හිමිවීම පිළිබඳ යුනියන් බැංකුවේ අධ්යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී ඉන්ද්‍රජිත් වික්‍රමසිංහ මහතා සිය අදහස් පළ කළේය. “යුනියන් බැංකුව මෙරට මුදල් කළමනාකරණ සහ ගෙවීම් ක්ෂේත්රයේ අත්කරගෙන සිටින ශක්තිමත් ප්‍රගතිය මෙම සම්මානය මගින් යළිත් වරක් තහවුරු වනවා. 2016 වසරේදී හඳුන්වාදෙන ලද යුනියන් බැංකු Biz Direct පහසුකම, දේශීය වාණිජ බැංකුවක් විසින් හඳුන්වා දෙන ලද එවැනි වර්ගයේ ප්‍රථම මුදල් කළමනාකරණ පහසුකමයි. එතැන් සිට එම පහසුකම මහා පරිමාණ ආයතන සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායවලට සිය ද්‍රවශීලතාව වඩාත් දූරදර්ශී ලෙස කළමනාකරණය කර ගැනීමේ පහසුව සලසා දෙන කාර්යක්ෂම, පහසු සහ ඵලදායී මුදල් කළමනාකරණ මෙවලමක් ලෙස සිය නාමය ස්ථාපිත කරගෙන තිබෙනවා. නව සාමාන්‍යය තුළ මෙම තාක්ෂණය වඩාත් ඵලදායීවනු ඇතැයි යන විශ්වාසයෙන් යුතුව අප මුදල් කළමනාකරණය ස්වයංක්‍රියකරණය කිරීම සඳහා අප යන ගමනේදී මෙම විසඳුම හිමිකර ගෙන සිටින සාර්ථකත්වය මත පදනම්ව අඛණ්ඩව නවෝත්පාදන සිදු කිරීමට අපේක්ෂා කරනවා.”
යුනියන් බැංකුවේ මුදල් හුවමාරු සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශයේ උප සභාපති අසංක රන්හොට්ටි මහතා ද මෙම ජයග්‍රහණය පිළිබඳ සිය අදහස් පළ කළේය. “මෙම කීර්තිමත් සන්නාම උළෙල හරහා මෙරට විශිෂ්ටත ම මුදල් කළමනාකරණ බැංකුව ලෙස සම්මානයට පාත්‍ර වීමට හැකි වීම පිළිබඳ අප බෙහෙවින් සතුටු වනවා. Asian Banker විශිෂ්ටත ම මුදල් කළමනාකරණ සම්මානය මගින්, යුනියන් බැංකුවේ BizDirect පහසුකම සතු වෙළෙඳපොල හිමිකාරිත්වය, ආදායම මෙන්ම වෙළෙඳපොලේ අනෙකුත් තරගකාරී සේවා සමග සැසඳීමේදී එම පහසුකම සතු මෙහෙයුම් විශිෂ්ටත්වය ද ඇගයුමට ලක් කර තිබෙනවා. යුනියන් බැංකුවේ පරිවර්තනීය මුදල් කළමනාකරණ පද්ධතියවන BizDirect හරහා විශාල වශයෙන් මුදල් මත පදනම් වූ ගනුදෙනු කළමනාකරණ වටපිටාව වෙනස් කිරීම අපගේ අරමුණයි. ස්වයංක්‍රියකරණය සහ අවශ්‍යතාවයට සරිලන සේවාව ලබා දෙමින් මුදල් ගලනය මත පදනම්ව තම ව්‍යාපාරයේ ද්‍රවශීලතාවයේ පූර්ණ පාලනය හිමිකර දීමට අප කටයුතු කරනවා. ස්වයංක්‍රියකරණය සහ දුරස්ථ මුදල් කළමනාකරණ හැකියාව හරහා BizDirect පහසුකම, මාස ගණනක් පුරා රට වසා දමා තිබූ තත්ත්වය හමුවේ කලට-වෙලාවට මුදල් එකතු කිරීම් සහ ගෙවීම් විසඳුම් ලබා දෙමින් තම අගය විවිධ අයුරින් පෙන්නුම් කිරීමට සමත් වුනා. ශීඝ්‍රයෙන් වෙන්වන ව්‍යාපාරික අවශ්‍යතාවලට සරිලන පරිදි ආයතන සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායවල ද්‍රවශීලතා කළමනාකරණ හැකියාව පරිණාමනය කිරීම සඳහා මෙම සේවාව තවදුරටත් පුළුල් කිරීමට අප බලාපොරොත්තු වනවා.”
ස්වයංක්‍රිය BizDirect මුදල් කළමනාකරණ පද්ධතිය, පරිපූර්ණ කාරක මුදල් එකතු කිරීමේ, ගෙවීමේ, ද්‍රවශීලතා කළමනාකරණයේ, වාර්තාකරණයේ සහ සංසන්දනය කිරීමේ චක්‍රය ආවරණය කරයි. සෑම පියවරකදී ම තත්කාලීන දත්ත ලබා ගැනීමේ හැකියාව පවතින බැවින් සිය අරමුදල් ශේෂය සඳහා ආයෝජන අවස්ථාවලින් උපරිම ඵල නෙලා ගැනීමටත්, මුදල් නිසි වේලාවට එකතු කර ගැනීමටත් පාරිභෝගිකයාට හැකි වේ. මෙම සේවාවේ ස්වයංක්‍රියකරණය, අන්තර්ජාල ලියකියවිලි සැකසීම සහ තත්කාලීන ලෙස දත්ත වාර්තාකරණය නිසා මුදල් වංචා අවම කර ගැනීමට ද හැකියාව ලැබේ. අමතර ආරක්ෂාවක් සඳහා බයෝමෙට්‍රික් අනන්‍යතා තහවුරුව ඇතුළු නවිතනත ම ආරක්ෂණ වැඩිදියුණු කිරීම්වලින් මෙම පද්ධතිය සමන්විත වේ.
වෙබ් අඩවි මත පදනම් වූ පද්ධතියක්වන මෙය host-to-host (H2H) පදනම මත දැනට පවත්නා ගිණුම්කරණ පදනම් ඒකාබද්ධ කරයි. මෙම පහසුකම ලබා ගැනීම සඳහා කිසිඳු දෘඩාංගයක් ස්ථාපිත කිරීමට අවශ්‍ය නොවීම සහ පහසුකම ස්ථාපිත කිරීම සඳහා දීර්ඝ ක්‍රියාවලියක් අනුගමනය කිරීමට අවශ්‍ය නොවීම නිසාම එම පහසුකමට ඉතා පහසුවෙන් හුරු විය හැකිය. මෙම මුදල් කළමනාකරණ පද්ධතිය පිළිබඳ දැනුම බෙදාදීම සඳහා කැපවී සිටින යුනියන් බැංකු කණ්ඩායම මීට අදාළ පුහුණුව සහ සහයෝගය ලබා දීමට සූදානමින් සිටී. ජාත්‍යන්තර මට්ටමේ මුදල් කළමනාකරණ විසඳුම් සමග සැසඳීමේදී BizDirect යනු දැරිය හැකි මිලකට පුළුල් පරාසයක විහිදුනු ක්‍රියාවලියකින් යුතු පහසුකමකි.
සුළු හා මධ්‍ය පරිමාණ අංශයට මෙන්ම මහා පරිමාණ ආයතන සඳහා ද ලබාගත හැකි යුනියන් බැංකුවේ BizDirect පහසුකම, ඕනෑම ප්‍රමාණයක ව්‍යාපාරයකට වඩාත් කඩිනම් සහ නිරවද්‍ය තීරණ ගැනීම සඳහා උපකාරී වේ. වඩාත් පහසුවෙන් භාවිත කළ හැකි පරිදි ගොඩනගා ඇති එම පහසුකම, නිසි කලට මුදල් එකතු කර ගැනීමටත්, කාර්යක්ෂමව සහ නිසි වේලාවට ගෙවීම් සිදු කරමින් සැපයුම්කරුවන් සමග ඇති සබඳතාව වැඩිදියුණු කර ගන්නා අතරම උපරිම කාලයක් සිය ගිණුමේ මුදල් රඳවා තබා ගැනීමට ද ව්‍යාපාරවලට අවශ්‍ය පහසුව සලසා දෙයි. ව්‍යාපාරවල අවශ්‍යතා පරිදි සකස් කර ඇති එම ස්වයංක්‍රිය මුදල් කළමනාකරණ විසඳුම ව්‍යාපාරවල කාරක ප්‍රාග්ධන චක්‍රය කළමනාකරණය කිරීමේ හැකියාව තවදුරටත් වර්ධනය කරයි. ද්‍රවශීලතා කළමනාකරණය පිළිබඳ පැහැදිලි දත්ත පෙන්නුම් කරන බැවින් ව්‍යාපාරයේ මුල්‍ය තත්ත්වය පිළිබඳ පුළුල් දැක්මක් සමගින් ක්ෂණික ආයෝජන අවස්ථාවලින් උපරිම ඵල නෙලා ගැනීමට ද ව්‍යාපාරවලට හැකි වේ. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායවලට BizDirect පහසුකම අනාගතයේදී මහා පරිමාණ සමාගම් බවට පත් වීමට අවශ්‍ය සහයෝගය ලබා දෙයි.
ජංගම දුරකථනයෙන් පවා අන්තර්ජාල අනුමැති ලබා දීමට මෙම පද්ධතිය ඉඩකඩ සලසා දී ඇති බැවින් අතින් චෙක්පත් අත්සන් කිරීමේ ක්‍රියාවලිය මෙමගින් මුළුමනින් ම ඉවත් කර ඇත. පුළුල් ස්වයංක්‍රිය පද්ධතිය හරහා ගනුදෙනු සිදු කිරීමට අවශ්‍ය ලියකියවිලි ක්ෂණිකව අන්තර්ජාලය ඔස්සේ ඇතුළත් කළ හැකිය. බැංකුවට චෙක්පත් ස්වයංක්‍රියව මුද්‍රණය කළ හැකි අතර BizDirect පරිශීලකයාට හෝ ඔහුගේ/ඇයගේ පාරිභෝගිකයන් වෙත යොමු කෙරේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතිය හිමි එකතුකිරීමේ සේවා සම්පාදකයන් හරහා ව්‍යාපාරයෙන් සෘජුවම මුදල් සහ චෙක්පත් එකතු කිරීමටත්, අවශ්‍යතාව පරිදි මුදල් ආපසු ව්‍යාපාරය වෙත ගෙන්වා ගැනීමටත් හැකිය. සංසන්දනය කිරීම ද ස්වයංක්‍රියකරණය කර ඇති බැවින් ඕනෑම මොහොතක සමාගමේ මුල්‍ය තත්ත්වය පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට ද හැකිවේ.
ආයතනික සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය යුනියන් බැංකුවේ මෙහෙයුම් කටයුතුවලින් 50% ක් දක්වා ප්‍රමාණයක් නියෝජනය කරන අතර මෙම වැදගත් පාරිභෝගික කාණ්ඩයට අගය එකතු කරන ලද සේවා ලබා දීම සඳහා යුනියන් බැංකුව පුළුල් ලෙස ආයෝජන සිදු කරයි. BizDirect පද්ධතිය තවදුරටත් පුළුල් කිරීම සඳහා යුනියන් බැංකුව මෑතකදී සිදු කරන ලද ආයෝජනය, එම බැංකුව විශේෂයෙන් ජාතික වශයෙන් ඉතා වැදගත් අංශයක් ලෙස හඳුනා ගෙන ඇති සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායවල ප්‍රගතිය වෙනුවෙන් තමන් දක්වන අඛණ්ඩ කැපවීම පිළිබඳ මනා පිළිබිඹුවකි. පාරිභෝගිකයාගේ අවශ්‍යතාව අනුව සකස් කරන ලද සේවා, පුළුල් ප්‍රවේශ ස්ථාන සහ තාක්ෂණයෙන් බලගන්වන ලද පහසුව පාරිභෝගිකයන් හට ධනාත්මක බැංකුකරණ අත්දැකීමක් පිරිනැමීම සඳහා මනා ලෙස ඒකාබද්ධ වී ඇත. තම විවිධ පාරිභෝගික කාණ්ඩ මුහුණදෙන ගැටළු පිළිබඳ මනා අවබෝධයකින් යුතුව යුනියන් බැංකුව, තම පාරිභෝගිකයන් හට වටිනාකමක් එක්කරන සහ බැංකුකරණ පහසුව පිරිනමන සේවා පුළුල් කිරීම සඳහා අඛණ්ඩව ආයෝජන සිදු කරයි.
කර්තෘතුමාට සටහන්: The Asian Banker (TAB) Transaction Finance සම්මාන පිළිබඳ
මින් පෙර The Transaction Banking සම්මාන ලෙස හැඳින්වූ The Transaction Finance සම්මාන හරහා මුල්‍ය ආයතනවල මුදල් කළමනාකරණය, ගෙවීම් සහ වෙළෙඳ මුල්‍යයන අංශවල ජයග්‍රහණ ඇගයුමට ලක් කෙරේ. ඇගයුම් ක්‍රියාවලිය සඳහා විගණනය මත පදනම් වූ ප්‍රවේශයක් භාවිත කෙරේ.
මේ වසරේ COVID-19 වසංගත තත්ත්වය හමුවේ වුව ද The Asian Banker සම්මාන උළෙල සඳහා ආසියා පැසිෆික් කලාපය තුළ වෙළෙඳපොළ 15 කට අධික ප්‍රමාණයක බැංකු සහ බැංකු නොවන මුල්‍ය ආයතන 50 කට අධික ප්‍රමාණයකින් සම්මාන 55 කට අධික ප්‍රමාණයක් සඳහා අයදුම්පත් 180 කට අධික ප්‍රමාණයක් හිමි වී තිබිණ. මෙවර එම සම්මාන උළෙල සඳහා සම්ප්‍රදායික බැංකු සමග මුල්‍ය තාක්ෂණ (fintech) ආයතනවලට ද ඇතුළත් වීමේ අවස්ථාව ලබා දී තිබිණ. අයදුම් කිරීමේදී පරිපූර්ණ දත්ත පත්‍රිකාවක් ඉදිරිපත් කළ යුතු අතර එම දත්ත පසුව එක්රැස් කර ක්ෂේත්රයේ අනෙකුත් ආයතන සමග සංසන්දනය කෙරේ. The Asian Banker පර්යේෂණ කාර්යමණ්ඩල සාමාජිකයන් විසින් සිදු කරනු ලබන සමීක්ෂණ, සම්මුඛ සාකච්ඡා සහ ක්ෂේත්‍ර පර්යේෂණවල එකමුතුවක් හරහා සම්මාන ලාභීන් තීරණය කෙරේ.


