හර බැංකුකරණ වර්ධනය සහ ලාභය
යුනියන් බැංකුව ස්ථාවර වර්ධනයක් සහ සුබවාදී අපේක්ෂා පිළිබිඹු කරමින් 2021 වසරේ පළමු මාස තුන සාර්ථකව අවසන් කර ඇත.
ක්‍රමෝපායික වශයෙන් වැදගත් බැංකුකරණ සේවා ඉලක්කකර ගනිමින් දියත් කරන ලද ක්‍රමෝපායික සැලසුම් යුනියන් බැංකුවේ හර බැංකුකරණ කාර්යසාධනයට ප්‍රධාන වශයෙන් බලපා ඇත. විමර්ශන කාලය තුළ මුහුණ දීමට සිදු වූ අභියෝග මධ්‍යයේ වුව ද එම බැංකුව සිය සේවා ප්‍රති ක්‍රමෝපායකරණය සහ එන්නත් වැඩසටහන දියත් කිරීමත් සමග ඇති වූ ධනාත්මක සාර්ව ආර්ථික තත්ත්වයෙන් උපරිම ඵල නෙලා ගැනීමට කඩිනමින් පියවර ගැනීම හේතුවෙන් 2021 පළමු කාර්තුව තුළ කැපී පෙනෙන වර්ධනයක් අත්කර ගැනීමට සමත් විය.
ගත වූ කාර්තුව තුළ යුනියන් බැංකුවේ සමස්ත ආදායම රු. මිලියන 1,521 ක් වූ අතර අභියෝගාත්මක වාතාවරණය හමුවේ වුව ද එම අගය පසුගිය වසරේ එම කාර්තුවට සාපේක්ෂව 1% ක වර්ධනයකි.
ගත වූ කාර්තුවේ යුනියන් බැංකුවේ දළ පොළී ආදායම (NII) රු. මිලියන 985 ක් ලෙස වාර්තා වූ අතර එය 2020 මාර්තු මස 31 වනදායින් අවසන් වූ පසුගිය වසරේ පළමු කාර්තුවට සාපේක්ෂව 4% ක අඩු වීමකි. පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව මෙම කාර්තුව තුළ සාමාන්‍ය ප්රමුඛ ණය අනුපාතය (AWPLR) අඩු වීම එයට හේතුවයි. Covid-19 වසංගත තත්ත්වයේ බලපෑමට ලක් වූ පාරිභෝගිකයන් සඳහා සහන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ නිර්දේශය මත යම් සේවා සඳහා පොළී අඩු කිරීම සහ පොළී ඉවත් කිරීම ද මෙම අඩු වීමට හේතු විය. සහනදායී වෙළෙඳපොළ පොළී අනුපාත සහ අනෙකුත් සහන ලබා දුන්න ද අපේක්ෂා කළ මට්ටමින් ණය සඳහා ඇති ඉල්ලුම වර්ධනය නොවූ නමුත්, ආර්ථික ක්‍රියාකාරකම්වල සිදු වූ සුළු නැග්ම හේතුවෙන් බැංකුවේ සමස්ත ණය ප්‍රමාණය වර්ධනය විය. ඵලදායී ලෙස ණය සේවා කළමනාකරණය කිරීම හරහා බැංකුවට දළ පොළී ආදායම මෙලෙස කළමනාකරණය කර ගත හැකි විය.
දළ ගාස්තු සහ කොමිස් ආදායමේ වර්ධනය මෙන්ම වෙනත් මෙහෙයුම් ආදායම ද යුනියන් බැංකුවේ ලාභය ශක්තිමත් කිරීමට දායක විය. 2021 පළමු කාර්තුව අවසානයේදී බැංකුවේ දළ ගාස්තු සහ කොමිස් ආදායම රු. මිලියන 216 ක් ලෙස වාර්තා වූ අතර එය පසුගිය වසරේ පළමු කාර්තුව සමග සැසඳීමේදී 7% ක වර්ධනයකි. ව්‍යාපාරික ණය, ක්‍රෙඩිට් කාඩ්පත් සහ වෙළෙඳ හුවමාරු බැංකුවේ ගාස්තු ආදායමට ප්‍රධාන වශයෙන් දායක විය.
අන්තර්-බැංකු, ස්ථිර ආදායම් සහ ආයතනික විකුණුම්වලින් සමන්විත යුනියන් බැංකුවේ භාණ්ඩාගාරය පළමු කාර්තුව තුළ කැපී පෙනෙන කාර්යසාධනයක් පෙන්නුම් කළ අතර විශේෂයෙන් බැංකුවේ ප්‍රාග්ධන සහ විනිමය ආදායම් සඳහා එය සුවිශේෂී දායකත්වයක් ලබා දුන්නේය. බැංකුවේ වෙනත් මෙහෙයුම් ආදායම 73% ක කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කළ අතර විනිමය අනුපාතවල සිදු වූ වෙනස්වීම් ඊට ප්‍රධාන වශයෙන් බලපෑවේය.
පුළුල් මෙහෙයුම් කාර්යහ්ස්මතාවක් සහ පිරිවැය කළමනාකරණය සඳහා ගත් පියවරවල ප්‍රතිඵලයක් වශයෙන් බැංකුවේ මෙහෙයුම් වියදම විමර්ශන කාලය තුළ රු. මිලියන 907 ක් ලෙස සඳහන් වූ අතර එය 9% ක වසරින් වසර අඩු වීමකි.
විමර්ශන කාලය තුළ බැංකුවේ පූර්ව අපහායන ලාභය 23% ක කැපී පෙනෙන වසරින් වසර වර්ධනයක් පෙන්නුම් කළේය.
පවත්නා සාර්ව ආර්ථික පීඩනය සහ රට වසා දැමීමේ තත්ත්වවලට අනුකූලව යුනියන් බැංකුව මධ්‍යස්ථ ලෙස අපහායන ගාස්තු පිරිනැමීමට කටයුතු කළ අතර ඒ හේතුවෙන් ගත වූ කාර්තුව තුළ බැංකුවේ අපහායන ගාස්තු රු. මිලියන 196 ක් දක්වා 111% ක වර්ධනයක් වාර්තා කළේය. සමස්ත යළි පියවීම් සහ ණය වර්ධනය සමගින් ඉලක්කගත අයකර ගැනීමේ ක්‍රියාමාර්ග හේතුවෙන්, 2020 දෙසැම්බර් මසදී 6.05% ක් ලෙස සඳහන් වූ බැංකුවේ සමස්ත අක්‍රිය ණය අනුපාතය (NPL) විමර්ශන කාර්තුව තුළ 5.85% ක් ලෙස ප්‍රගතියක් අත්කර ගැනීමට බැංකුව සමත් විය.
මෙහෙයුම් ක්‍රියාකාරකම්වල ප්‍රතිඵල රු. මිලියන 418 ක් ලෙස වාර්තා වූ අතර එය 3% ක වසරින් වසර වර්ධනයකි.
යුනියන් බැංකුවේ බදු පසු ලාභය එහි අනු සමාගම්වල කොටස් හිමිකාරිත්වය ද ඇතුළුව රු. මිලියන 282 ක් ලෙස වාර්තා වූ අතර එය 57% ක වසරින් වසර වර්ධනයකි. බැංකුවේ ධනාත්මක බලපෑමත්, ආයතනික බදු අනුපාතවල සිදු වෙනස්වීම හේතුවෙන් UB Finance ආයතනයේ බදු වත්කම් ප්‍රමාණයේ අඩුව ද මෙමගින් නිරූපණය වෙයි.
බැංකුවේ පරිපූර්ණ ආදායම රු. මිලියන 137 කි.
යුනියන් බැංකුවේ සමස්ත වත්කම් ප්‍රමාණය 2021 මාර්තු මස 31 වනදා වන විට රු. මිලියන 124,796 ක් දක්වා වර්ධනය විය. ණය සහ අත්තිකාරම් රු. මිලියන 71,609 ක් දක්වා 6% ක වර්ධනයක් අත්කර ගත් අතර විමර්ශන කකාලය තුළ පාරිභෝගික තැන්පතු රු. මිලියන 83,829 ක් දක්වා 2% ක වර්ධනයක් අත්පත් කර ගත්තේය. පාරිභෝගික, ආයතනික සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශ කේන්ද්‍ර කර ගනිමින් දියත් කෙරුණු ක්‍රමෝපායික අත්කර ගැනීම් හරහා යුනියන් බැංකුවේ CASA අගය තවදුරටත් ශක්තිමත් මට්ටමක පවත්වා ගැනීමට හැකි විය. එහි ප්‍රතිඵලයක් ලෙස විමර්ශන කාලය තුළ සමස්ත CASA ශේෂය 4.2% කින් වර්ධනය වූ අතර CASA අනුපාතය 30.5% ක් ලෙස වාර්තා විය.
ශක්තිමත් ප්‍රාග්ධන අනුපාත පවත්වා ගැනීම තවදුරටත් යුනියන් බැංකුවේ කළමනාකාරිත්වයේ ප්‍රමුඛතාවක් විය. ඒ අනුව, එම බැංකුවේ සමස්ත ප්‍රාග්ධන ප්‍රමාණාත්මතා අනුපාතය 2021 මාර්තු මස 31 වනදා වන විට 15.88% ක් ලෙස වාර්තා වූ අතර එය නියාමන අවශ්‍යතාවට වඩා බෙහෙවින් ඉහළ අගයකි.
යුනියන් බැංකුව, National Asset Management Limited සහ UB Finance යන ආයතනවලින් සමන්විත සමූහයේ බදු පසු ලාභය රු. මිලියන 301 ක් ලෙස වාර්තා වූ අතර එය 54% ක වසරින් වසර වර්ධනයකි.
සමූහයේ සමස්ත වත්කම් ප්‍රමාණය රු. මිලියන 131,305 ක් වූ අතර ඉන් 95% ක් බැංකුව නියෝජනය කරයි. කාර්තුව අවසානවන විට සමූහය 15.97% ක ශක්තිමත් සමස්ත ප්‍රාග්ධන අනුපාතයක් පවත්වා ගැනීමට සමත් විය.
මෙහෙයුම් කාර්යසාධනය
මුල්‍ය වර්ෂය සඳහා සුබවාදී ආරම්භයක් ලබාදෙමින් යුනියන් බැංකුවේ මුදල් කළමනාකරණ විසඳුමවන BizDirect සේවාව වෙනුවෙන් යුනියන් බැංකුව Asian Banker Transaction Finance Awards 2020 සම්මාන උළෙලේදී ‘ශ්‍රී ලංකාවේ විශිෂ්ටත ම මුදල් කළමනාකරණ බැංකුව’ ලෙස සම්මානයට පාත්‍ර විය. ආයතනික සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශවල ඩිජිටල් මුදල් කළමනාකරණ සේවා ලබා ගැනීමේ ප්‍රවණතාව වර්ධනය වීමත් සමග BizDirect සේවාව යුනියන් බැංකුවේ CASA සහ ගාස්තු ආදායමට විශාල දායකත්වයක් ලබා දුන්නේය.
බැංකුවේ ආයතනික බැංකුකරණ අංශය විමර්ශන කාර්තුව තුළ ප්‍රගතියක් අත්කර ගැනීමට සමත් විය. ආයතනික ණය ප්‍රමාණය වසරේ සිට අද දක්වා (YTD) 13% ක වර්ධනයක් පෙන්නුම් කර ඇති අතර ආයතනික බැංකුකරණ අංශයේ තැන්පතු පදනම ද වසරේ සිට අද දක්වා 6% ක වර්ධනයක් පෙන්නුම් කර ඇත. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය බැංකුකරණ අංශය 3% ක ණය වර්ධනයක් වාර්තා කරමින් 2021 පළමු කාර්තුව තුළ යුනියන් බැංකුවේ ධනාත්මක වර්ධනයට දායකත්වය ලබා දී ඇත. බැංකුවේ වත්කම් වර්ධනයට ද සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශය ශක්තිමත් දායකත්වයක් ලබා දී ඇති අතර එම අංශයේ CASA පදනම වර්ධනය කර ගැනීම සඳහා භූගෝලීය වශයෙන් ශාඛා මට්ටමින් ක්‍රමෝපායික වර්ධනයක් සිදු කිරීමට බැංකුව කටයුතු කළේය.
අභියෝගාත්මක වාතාවරණය හමුවේ වුව ද යුනියන් බැංකුවේ පාරිභෝගික බැංකුකරණ අංශය ද 10% ක වසරේ සිට අද දක්වා 10% ක ශක්තිමත් වර්ධනයක් සමගින් ශක්තිමත් තැන්පතු වර්ධනයක් අත්කර ගැනීමට සමත් විය. අඩු පොළී අනුපාත ලබා දීමේ තත්ත්වය හමුවේ වුව ද යුනියන් බැංකුව නව අත්කර ගැනීම් සඳහා අවධානය යොමු කළ බැවින් මෙම වර්ධනය අත්කර ගැනීමට හැකි විය. ක්‍රෙඩිට් කාඩ්පත් අංශය වර්ධනය කිරීම සඳහා බැංකුව දැක්වූ ප්රයත්නයට අනුව පාරිභෝගික වත්කම් අංශය ද අඛණ්ඩ වර්ධනයකට හිමිකම් කීවේය. පවත්නා පාරිභෝගික පදනමේ දායකත්වය ලබා ගන්නා අතර ම පොළී රහිත පහසු ගෙවීමේ සැලසුම්, ශේෂය මාරු කිරීමේ විකල්ප සහ දිවයින පුරා අලෙවි නියෝජිතයන් 100 කට අධික ප්‍රමාණයක් සමගින් විශේෂිත අවුරුදු වට්ටම් ඇතුළු පහසුකම් රැසක් පිරිනමකින් බැංකුව නව පාරිභෝගිකයන් අත්කර ගැනීම සඳහා ද කටයුතු කළේය. විදේශ ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ ආකර්ෂණය කර ගැනීමේ ජාතික ප්රයත්නයට දායකත්වය ලබා දෙමින් බැංකුව වෙස්ටර්න් යුනියන් මුදල් හුවමාරු සඳහා විශේෂිත ප්‍රවර්ධන ත්‍යාග පිරිනැමීමේ වැඩසටහනක් ද විමර්ශන කාලය තුළ දියත් කළේය.
වෙළෙඳපොළ ප්රවණතාවලට අනුකූලවන අතරම උපරිම පිරිවැය කළමනාකරණයක් හරහා උපරිම කාර්යසාධනයක් තහවුරු කිරීමට සිය සම්පත් සහ ක්‍රියාවලි ප්රතිසංවිධාන කරමින් යුනියන් බැංකුවේ මානව සම්පත් සහ මෙහෙයුම් කටයුතු අඛණ්ඩව බැංකුවේ ව්‍යාපාරික වර්ධනයට දායකත්වය ලබා දුන්නේය. කාර්යමණ්ඩල සාමාජිකයන්ගේ දිවයිනේ කුමන ස්ථානයක රැඳී සිටිය ද, සමාජ දුරස්ථභාවය සම්බන්ධ සීමා පැවතිය ද ඔවුන් සමග අඛණ්ඩව සබඳතා පවත්වා ගැනීම සඳහා යුනියන් බැංකුව නවීන ඩිජිටල් සබඳතා සහ සහයෝගී වේදිකාවක් සිය කාර්යමණ්ඩල සාමාජිකයන් වෙනුවෙන් හඳුන්වා දුන්නේය. 2020 වසරේදී සිය 25 වන වියට පා තැබූ යුනියන් බැංකුව වසර ගණනක පටන් බැංකුවේ වර්ධනයට දායකත්වය ලබා දෙමින් දීර්ඝ කාලයක් එහි සේවයෙහි නිරත වූ කාර්යමණ්ඩල සාමාජිකයන් ඇගයුමට ලක් කිරීම සඳහා විශේෂ උළෙලක් 2021 පළමු කාර්තුව තුළ සංවිධාන කළේය.
යුනියන් බැංකුවේ 2020 වාර්ෂික වාර්තාව ‘Refocus, Readjust, Reinforce’ යන තේමාවෙන් 2021 පෙබරවාරි මසදී ප්‍රකාශයට පත්කෙරිණි. පාර්ශ්වකරුවන් සමග ඇති සබඳතාව ප්රශස්ත මට්ටමක පවත්වා ගනිමින් සිය අසමසම ශක්තීන්වලින් උපරිම ඵල නෙළා ගන්නා අතරම නැවුම් ජවයකින් යුතුව අභියෝග හමුවේ පෙරට ගමන් කිරීම සඳහා බැංකුව දක්වන කැපවීම එමගින් නිරූපණය විය. බැංකුවේ මහා සභා රැස්වීම ද විමර්ශන කාලය තුළ සාර්ථකව පැවැත්වුණු අතර සෞඛ්‍ය බලධාරීන් විසින් නිවේදනය කරන ලද සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව එම මහා සභා රැස්වීම අන්තර්ජාලය ඔස්සේ පැවැත්වීමට කටයුතු යොදා තිබිණ.
“අප 2021 වසර සඳහා සුබවාදී ආරම්භයක් ගෙන තිබෙනවා. පළමු කාර්තුවේ කාර්යසාධනය, වසර සඳහා අපට ඇති වර්ධන ඉලක්ක වෙත ළඟා වීමට අපට ඇති හැකියාව මනාව පෙන්නුම් කරනවා. COVID-19 වසංගත තත්ත්වයේ බලපෑමට ලක් වූ අපගේ පාරිභෝගිකයන් හට ඉදිරියටත් සහයෝගය ලබා දෙන අතර පාරිභෝගික, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සහ ආයතනික බැංකුකරණ අංශ තුළ අප අපේක්ෂා කරන වර්ධනය අත්කර ගැනීම සඳහා අවධානය යොමු කරනවා. ශක්තිමත් ප්‍රාග්ධන පදනම සහ ඉලක්කගත ක්‍රමෝපායික ව්‍යාපාර සැලසුම සමගින් යුනියන් බැංකුව වෙළෙඳපොළේ අභියෝග සහ අවස්ථා මතුකර ගැනීම සඳහා මනා සූදානමකින් සිටිනවා,” යනුවෙන් යුනියන් බැංකුවේ අධ්යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී ඉන්ද්‍රජිත් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.


