ඡායාරූපය (වමේ සිට):
නිල්මිණි වීරසේකර (ආයතනික බැංකුකරණ අංශය), ධනුෂ්ක සේතුහේවා (අවදානම් කළමනාකරණ අංශය), මිනෝලි ප්‍රනාන්දු (මූල්‍ය අංශය), චරිතා ද සිල්වා (නීති අංශය), රමිදුනි වෙල්ලාලගේ (අත්තිඩිය ශාඛාව), ඕෂධී ගුණසේකර (අභ්‍යන්තර විගණන අංශය), වින්ද්‍යා ගුණසේකර (මොරටුව ශාඛාව), සහ ශන්මුගේස්වරන් ජෙස්ධරාජන් (කොටහේන ශාඛාව).
යූනියන් බැංකුවේ දීර්ඝ කාලයක් සේවය කළ සාමාජික සාමාජිකාවන් පිරිසක් ඇගයීම සඳහා සංවිධානය කළ විශේෂ උත්සවයක් පසුගියදා එම බැංකුවේ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි. යූනියන් බැංකුවේ අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී ඉන්ද්‍රජිත් වික්‍රමසිංහ මහතා විසින් මෙහිදී කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන් 8 දෙනෙකුට සම්මාන සහ සමරු තිළිණ පිරිනමන ලදි.
යූනියන් බැංකුව තුළ වසර 25 ක සේවා කාලයක් සම්පූර්ණ කළ නිල්මිණි වීරසේකර (ආයතනික බැංකුකරණ අංශය), ඕෂධී ගුණසේකර (අභ්‍යන්තර විගණන අංශය) සහ ශන්මුගේස්වරන් ජෙස්ධරාජන් (කොටහේන ශාඛාව) සහ වසර 20 ක සේවා කාලයක් සම්පූර්ණ කළ මිනෝලි ප්‍රනාන්දු (මූල්‍ය අංශය), චරිතා ද සිල්වා (නීති අංශය), ධනුෂ්ක සේතුහේවා (අවදානම් කළමනාකරණ අංශය), වින්ද්‍යා ගුණසේකර (මොරටුව ශාඛාව) සහ රමිදුනි සාරංගිකා (අත්තිඩිය ශාඛාව) යන මහත්ම මහත්මීන් මෙහිදී ඇගයීමට ලක්වූහ.
“දීර්ඝ කාලයක් සේවය කළ සාමාජික සාමාජිකාවන් ඇගයීමට ලක්කිරීම යූනියන් බැංකුවේ සේවක සම්බන්ධතා වැඩසටහන් මාලාවේ එක් අංගයකි. මෙහිදී ඔවුන්ගේ දීර්ඝකාලීන සේවය සහ කැපවීම අගය කරන අතරම, වඩාත් යහපත් ආයතනික සංස්කෘතියක් නිර්මාණය කරමින්, කාර්ය මණ්ඩලය තවදුරටත් දිරිමත් කිරීමට අප උත්සාහ කරනවා.” යූනියන් බැංකුවේ උප සභාපතිනි – මානව සම්පත්, ලිලන්ති දෙල්ගොඩ මහත්මිය පැවසුවාය.
මානව සම්පත් කළමනාකරණය යනු යූනියන් බැංකුවේ ප්‍රධාන ක්‍රමෝපායික ප්‍රමුඛත්වයන් අතරින් එකකි. තම සාමාජික සාමාජිකාවන්ගේ යහපත වෙනුවෙන් කැපවන අතරම ඔවුන්ට ඵලදායී වෘත්තීය ජීවිත ගතකිරීමට අවස්ථාව සලසා දීම එහි අරමුණ වේ. කාර්යක්ෂම කාර්යසාධන කළමනාකරණ පද්ධති, ආකර්ෂණීය ඇගයුම් හා ත්‍යාග ක්‍රම, ඉගෙනුම් හා සංවර්ධන අවස්ථා සහ වෘත්තීය දියුණුව සඳහා වැදගත් වන අවස්ථා ආදිය ඔස්සේ යූනියන් බැංකුව සිය කාර්ය මණ්ඩලයට තම හැකියාවන් උපරිම වශයෙන් වැඩිදියුණු කරගැනීමට අවශ්‍ය සහයෝගය නො-අඩුව ලබාදෙයි. එමෙන්ම කාර්යසාධනයට මුල්තැන දෙන ආයතනයක් වශයෙන් යූනියන් බැංකුව තම සාමාජික සාමාජිකාවන්ගේ ක්‍රියාකාරීත්වය ඉහළම තලයකට ගෙන ඒම සඳහා නිරන්තරයෙන් අවධානය යොමුකරයි.


