තුන් වන COVID-19 රැල්ල හේතුවෙන් ඇති වූ බාධාවන් ක්‍රමානුකූලව පහව යාමක් 2022 මූල්‍ය වර්ෂයේ පළමු කාර්තුව තුළදී දක්නට ලැබිණි. එහෙත් මෙම කාලසීමාවේදී දිගින් දිගටම පැවති දේශපාලනික හා සමාජයීය අවිනිශ්චිතතාවන් මෙන්ම ඉන්ධන හා ගෑස් හිඟය, උද්ධමනය, විදේශ මුදල් සංචිත පහළ යාම, රුපියල අවප්‍රමාණය වීම සහ ආනයන සීමාවන් ආදිය නිසා, ජනතාවටත් ව්‍යාපාර වලටත් දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දීමට සිදු විය. COVID-19 වසංගත තත්ත්වය හේතුවෙන් ජනතාවට සහන සැලසීම සඳහා හඳුන්වා දී තිබූ විධිවිධාන බොහොමයක් 2021 දෙසැම්බර් මාසයෙන් අවසන් වූ අතර, බැංකු ක්ෂේත්‍රයට දිගින් දිගටම තම වත්කම් වල තත්ත්වය සම්බන්ධ පීඩනයන්ට මුහුණ දීමට සිදු වී තිබේ. මෙම තත්ත්වය හමුවේ, මේ වනවිට අත්‍යවශ්‍ය කරුණක් වී තිබෙන ආර්ථික ස්ථාවරත්වය හා පුනර්ජීවනය ඇතිකිරීම සඳහා මූල්‍යමය සහ වෙනත් ප්‍රතිපත්තිමය විසඳුම් කිහිපයක් ක්‍රියාවට නංවන ලදි.
මෙම පසුබිම තුළ තම ශක්තිමත් ප්‍රාග්ධන පදනම තුළින් පන්නරය ලබමින්, කාර්යක්ෂම අවදානම් කළමනාකරණය ප්‍රව්ශයක් ඔස්සේ, ඵලදායී පිරිවැය කළමනාකරණ ක්‍රමවේදයන් ක්‍රියාවට නංවමින්, බාහිර බලපෑම් තුළින් තම මෙහෙයුම් කටයුතු වලටත් ගනුදෙනුකරුවන්ටත් සිදුවන බලපෑම අවම කිරීමට පියවර ගැනීම කෙරෙහි යූනියන් බැංකුවේ මූලික අවධානය යොමු විය.
මූලික බැංකුකරණ ක්‍රියාකාරීත්වය හා ලාභදායීත්වය
මෙහෙයුම් වාතාවරණයේ පැවති දුෂ්කරතා හමුවේ පවා තම ප්‍රධාන බැංකුකරණ ක්‍රියාකාරීත්වයේ වර්ධනයක් පෙන්නුම් කරමින්, කාර්තුව තුළ රු. මිලියන 3,148 ක සමස්ත ආදායමක් වාර්තා කිරීමට යූනියන් බැංකුව සමත් විය. මෙය පෙර වසරේ අදාළ කාලසීමාවට සාපේක්ෂව 10% ක වර්ධනයකි. වත්කම් කළඹ ප්‍රතිමිල කිරීම සහ පොලී ආදායම දැඩි ලෙස කළමනාකරණය කිරීම හේතුවෙන් ශුද්ධ පොලී ආදායම 11% කින් වර්ධනය වී ඇති අතර, ඒ නිසා ශුද්ධ පොලී ආන්තිකය 33bps කින් ඉහළ ගොස් තිබේ. ක්‍රෙඩිට් හා ඩෙබිට් කාඩ්පත් මගින් ලැබෙන දායකත්වය ඉහළ යාම සහ වෙළඳ කටයුතු වර්ධනය වීම හේතුවෙන් ගාස්තු සහ කොමිස් මුදල් ආදායමද 17% කින් වර්ධනය වී ඇත. රාජ්‍ය සුරැකුම්පත් වෙළඳපොළේ ද්‍රවශීලතාව නොමැති වීම සහ අස්ථාවරත්වය හේතුවෙන් වෙනත් මෙහෙයුම් ආදායම 4% කින් පහළ ගොස් තිබේ.
බැංකුවේ මෙහෙයුම් වියදම් රු. මිලියන 983 දක්වා 8% කින් ඉහළ ගොස් ඇති අතර, රුපියලේ අගය අවප්‍රමාණය වීම සහ වෙනත් වියදම් ඉහළ යාම මීට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත.
සාර්ව-ආර්ථික පරිසරයෙන් පැනනගින ආතතීන් සැලකිල්ලට ගනිමින්, බැංකුව කළමනාකරණ උපරිපතනය ඇතුළු අපහායන ගාස්තු සඳහා ප්‍රතිපාදන වෙන් කිරීමට කටයුතු කළේ ය. මෙම කාර්තුව සඳහා බැංකුවේ අපහායන ගාස්තු රු. මිලියන 288 ක් වූ අතර, එය 2021 මූල්‍ය වර්ෂයේ පළමු කාර්තුවට සාපේක්ෂව 47% ක ඉහළ යාමකි.
පිරිහුණු මෙහෙයුම් පරිසරය සහ මූල්‍ය සේවා මත වැට් බද්ද 15% සිට 18% දක්වා වැඩි වීම හේතුවෙන් සමාලෝචිත කාලසීමාව සඳහා බැංකුවේ බදු-පෙර ලාභය, අනුබද්ධිත සමාගම් වල හිමිකාරීත්ව කොටස්ද ඇතුළත්ව, පසුගිය වසරේ අදාළ කාලසීමාවේදී මෙන්ම, රු. මිලියන 316 මට්ටමේ පවතී. පෙර වසරේ සිදුකරන ලද, එක්වරක් පමණක් අදාළ වූ අධි-ප්‍රතිපාදන ආපසු හැරවීමෙන් පසුව ගණනය කරන ලද නිසා, 2021 වසරේ පළමු කාර්තුවේ බදු-පසු ලාභයට සාපේක්ෂව, මෙම කාර්තුවේ බදු-පසු ලාභයට විශාල බලපෑමක් එල්ල වී ඇත.
2022 මාර්තු 31 දින වනවිට, බැංකුවේ සමස්ත වත්කම් ප්‍රමාණය රු. මිලියන 129,878 දක්වා, එනම් 10% කින් වර්ධනය විය. ණය සහ අත්තිකාරම් රු. මිලියන 75,479 දක්වා 11% කින් වර්ධනය වූ අතර, සියලු කාණ්ඩ වල ජංගම ගිණුම් – ඉතුරුම් ගිණුම් ශේෂයන් සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුවීම නිසා පාරිභෝගික තැන්පතු රු. මිලියන 91,226 දක්වා, එනම් 9% කින් වර්ධනය වී ඇත. 2022 මාර්තු 31 වන විට ජංගම ගිණුම් ඉතුරුම් ගිණුම් අනුපාතයද 30.4% වැනි යහපත් මට්ටමක පැවතිණි. ශක්තිමත් ණය නැවත අයකර ගැනීමේ හැකියාවන් සහ විශේෂයෙන් සකස් කළ ආපසු ගෙවීම් සැලසුම් නිසා, බැංකුවේ තුන්වන මට්ටමේ ණය අනුපාතය 4.8% ක පාලිත අගයක පවත්වා ගැනීමට හැකි වී ඇත.
නියාමන අවශ්‍යතා වලට වඩා පැහැදිලිවම ඉහළින් පවතින යහපත් ප්‍රාග්ධන සප්‍රමාණතා මට්ටමක් පවත්වා ගැනීමට බැංකුවට හැකියාව ලැබී තිබේ. 2022 මාර්තු 31 වනවිට බැංකුවේ සමස්ත ප්‍රාග්ධන අනුපාතය 14.45% ක් විය.
මෙම සමාලෝචනයට අදාළ කාර්තුව සඳහා, UB Finance Company Ltd. සහ National Asset Management Ltd. යන සමාගම් වලින් සමන්විත යූනියන් බෑන්ක් සමූහයේ බදු-පසු ලාභය රු. මිලියන 398 ක් වන අතර, එය පසුගිය වසරේ අදාළ කාලසීමාවට සාපේක්ෂව 5% ක පහළ යාමකි. සමූහය තුළ බැංකුවේ හිමිකාරීත්ව ප්‍රතිශතය 95% ක් වන අතර, සමූහයේ සමස්ත වත්කම් වටිනාකම 10% කින් වර්ධනය වී, රු. මිලියන 136,132 ක් ලෙස වාර්තා වී තිබේ.
මෙහෙයුම් ක්‍රියාකාරීත්වය
පෞද්ගලික අංශයේ සිදු වූ ණය වර්ධනය සහ, ක්ෂේත්‍රය තුළ සම්බන්ධතා ගොඩනංවා ගැනීමේ හැකියාවන් තුළින් කාලීන අවස්ථා ග්‍රහණය කරගනිමින්, මෙම සමාලෝචනයට අදාළ කාලසීමාව තුළ සැලකිය යුතු මට්ටමේ දියුණුවක් අත්පත් කරගැනීමට ආයතනික බැංකුකරණ අංශය සමත් විය. ඒ අනුව ණය සහ අත්තිකාරම් ප්‍රමාණය 27% කින් වර්ධනය වී ඇති අතර, තැන්පතු වල 29% ක වර්ධනයක්ද, කොමිස් සහ ගාස්තු ආදායමේ 13% ක වර්ධනයක්ද වාර්තා වී තිබේ. මුදලේ අගය අවප්‍රමාණය වීම සමග විදේශ මුදල් නැවත ගණනය කිරීම තුළින් ණය සහ තැන්පතු පදනම් ඉහළ ගොස් ඇත.
විදේශ මුදල් තැන්පතු වර්ධනය කරගැනීමට ගන්නා ලද උත්සාහය සහ ක්‍රමෝපායිකව කළමනාකරණය කරන ලද ආන්තිකයන් හේතුවෙන්, පාරිභෝගික බැංකුකරණය අංශයේ තැන්පතු වල 6% ක වර්ධනයක්ද, ජංගම ගිණුම් ඉතුරුම් ගිණුම් අනුපාතයේ 28% ක වර්ධනයක්ද වාර්තා වී තිබේ. සමාලෝචනයට අදාළ කාලසීමාව තුළ ක්‍රෙඩිට් කාඩ් සේවාවන්ද පැහැදිලි වර්ධනයක් අත්පත් කරගෙන ඇත.
ආසියානු සංවර්ධන බැංකුවේ අරමුදල් සමගින් විශේෂ වැඩසටහනක් ක්‍රියාවට නැංවීම සඳහා අවස්ථාව ලබාගැනීමට සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර අංශය සමත් විය. මෙම වැඩසටහනනේ මූලික අරමුණ ව්‍යවසායිකාවන්ට සහ සුළු පරිමාණ තේ ව්‍යාපාර වලට අත්වැලක් වීම වන අතර, මේ ඔස්සේ වඩාත් ශක්තිමත් ලෙස ව්‍යවසායකයන් අතරට තම සේවාවන් රැගෙන යාමට බැංකුවට අවස්ථාව ලැබෙනු ඇත. මෙම සමාලෝචනයට අදාළ කාලසීමාව තුළ සුළු හා මධ්‍යම පරිමාණ බැංකුකරණ අංශයෙන් ලැබුණු තැන්පතු, ජංගම ගිණුම් හා ඉතුරුම් ගිණුම් ප්‍රමාණයන් ඉහළ ගියේ ය. මෙම වර්ධනයට එක් ප්‍රධාන හේතුවක් වූයේ, බැංකුව විසින් හඳුන්වා දෙන ලද, සම්මානයෙන්ද පිදුම් ලැබූ මුදල් කළමනාකරණ විසඳුමක් වන Union Bank Biz-Direct සේවාවයි. මේ ඔස්සේ සුළු හා මධ්‍යම පරිමාණ අංශය ඇතුළුව ව්‍යාපාර ක්ෂේත්‍රයෙන් නව ගනුදෙනුකරුවන් සැලකිය යුතු ප්‍රමාණයක් ආකර්ෂණය කරගැනීමට බැංකුවට හැකියාව ලැබිණි.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නාම 100 අතරට යළිත් වරක් එක්වෙමින්, 2022 Brand Finance විශිෂ්ටතම සන්නාම ලැයිස්තුවට ඇතුළත් වීමටද යූනියන් බැංකුව සමත් විය. 2021 වසර සඳහා වූ බැංකුවේ වාර්ෂික මහා සභා රැස්වීම 2021 මාර්තු 31 දින පැවැත්වුණු අතර, බැංකුවේ 2021 වාර්ෂික වාර්තාව “Persist, Persevere” යන තේමාව යටතේ ප්‍රකාශයට පත්කරන ලදි.


