වසංගත තත්ත්වයේ තුන්වන අදියරේ බලපෑම හේතුවෙන් අගෝස්තු සහ සැප්තැම්බර් මාස තුළ පනවන ලද සංචරණ සීමා හේතුවෙන් සමස්ත බැංකුකරණ ක්‍රියාකාරකම් සීමිත විය. වසංගත තත්ත්වය හේතුවෙන් වෙළෙඳ සහ විදේශ සංචිත සීමා මත ඇති වූ ආර්ථික අභියෝග බැංකුවේ සමස්ත ව්‍යාපාරික ක්‍රියාවලියට අභියෝගයක් විය. Covid-19 වසංගත තත්ත්වයේ බලපෑමට ලක් වූ පාරිභෝගිකයින් හට සහයෝගය ලබා දීම සඳහා 2021 සැප්තැම්බර් මසදී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ණය සහන වැඩසටහන තවදුරටත් දීර්ඝ කිරීමට කටයුතු කරන ලදි.
ඉහත බාහිර අභියෝග හමුවේ වුව ද යුනියන් බැංකුව සිය ශක්තිමත් ද්‍රවශීලතා තත්ත්වය පවත්වා ගැනීමට සමත් විය. සමාලෝචන කාලය තුළ සාමාන්‍ය ස්ථාවර තැන්පතු ස්ථාවර මට්ටමක පැවතුනු අතර සාමාන්‍ය CASA අගය 9% ක වසරින් වසර වර්ධනයක් පෙන්නුම් කළේය. එම අගය රු. මිලියන 23,854 කි.
2021 සැප්තැම්බර් මසදී සිදු කෙරුණු ෆිච් සමාලෝචනයේදී, ස්ථාවර දර්ශනයක් සමගින් බැංකුවට BBB(-) ක ශ්‍රේණිගත කිරීමක් හිමි විය. ඉහල ද්‍රවශීලතාව, කැපී පෙනෙන ප්‍රාග්ධනනය සහ උසස් මෙහෙයුම් තත්ත්ව යටතේ ඉදිරි වර්ධන හැකියාව ඇතුළු ප්‍රධාන කරුණු කිහිපයක් එම ශ්‍රේණිගත කිරීමට හේතු පාදක විය.
අහිතකර සාර්ව ආර්ථික වාතාවරණය සහ මෙම දුෂ්කර කාලය තුළ පාරිභෝගිකයින් හට සහයෝගය ලබා දීම සඳහා බැංකුව විසින් ණය සහන දීර්ඝ කරනු ලැබීම හේතුවෙන් තුන්වන කාර්තුව තුළ බැංකුවේ දළ පොළී ආදායමට බලපෑමක් එල්ල විය. තවද, 2020 වසරට සාපේක්ෂව මූලික ලකුණු 280 කින් AWPLR අගය අඩු වීම ද ඊට ප්‍රධාන වශයෙන් බලපෑවේය. එහි ප්‍රතිඵලයක් ලෙස, වසරේ පළමු මාස නවයක කාලය තුළ බැංකුවේ දළ පොළී ආදායම රු. මිලියන 3,078 ක් ලෙස වාර්තා වූ අතර එය පසුගිය වසරට සාපේක්ෂව සුළු වර්ධනයකි.
කාලෝචිත ක්‍රියාමාර්ගවලට අනුව ගාස්තු ආදායම මනා ලෙස කළමනාකරණයකර ගැනීමට බැංකුවට හැකි වූ අතර, සමාලෝචන කාලය තුළ වාර්තා වූ රු. මිලියන 612 ක එම ආදායම 31% ක වසරින් වසර වර්ධනයකි.
අභියෝගාත්මක ආර්ථික වාතාවරණය හමුවේ එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අඛණ්ඩව පහත වැටුණු බැවින් එය වෙළෙඳ ආදායමට සහ සැපයුම්/ඉල්ලුම් චලනයට බලපෑමක් එල්ල කළේය. මෙම විනිමය හුවමාරු අනුපාත වෙනස්වීම් සහ සීමිත වෙළෙඳ අවස්ථා විසින් බැංකුවේ භාණ්ඩාගාරයට සහ වෙළෙඳපොළ ආදායමට පීඩනයක් එල්ල වූ අතර ඒ හේතුවෙන් බැංකුවේ භාණ්ඩාගාරයේ කාර්යසාධනයට දැඩි බලපෑමක් එල්ල විය. විශේෂයෙන් පසුගිය වසරේ දෙවන සහ තුන්වන කාර්තුවල වෙළෙඳපොළ ආදායම සාපේක්ෂව ඉතා ඉහල අගයක් ගත්ත ද, මෙම විමර්ශන කාලය තුළ බැංකුවේ වෙළෙඳ සහ වෙනත් ආදායම් 37% ක වසරින් වසර අඩුවීමක් පෙන්නුම් කළේය.
සැප්තැම්බර් මාසයේ අවසානයවන විට බැංකුවේ වසරේ සිට මේ දක්වා මෙහෙයුම් ආදායම රු. මිලියන 4,397 ක් ලෙස වාර්තා විය. බැංකුවේ සියලු මෙහෙයුම් අංශ තුළ ක්‍රියාත්මක කරන ලද පිරිවැය කළමනාකරණ ක්‍රියාකාරකම් හරහා සමස්ත මෙහෙයුම් වියදම් මනාව කළමනාකරණයකර ගැනීමට හැකි වූ අතර එම වියදම් රු. මිලියන 2,730 කින්, එනම් වසරින් වසර 4% කින් අඩුකර ගැනීමට බැංකුවට හැකි වී ඇත. පූර්ව අපහායන ලාභය ද රු. මිලියන 1,667 ක් ලෙස වාර්තා විය.
අභියෝගාත්මක ආර්ථික වාතාවරණය හේතුවෙන් බැංකුව 2020 වසරේ දෙසැම්බර් මාසයේදී අනුගමනය කළ උපකල්පන මත ම පිහිටා අඛණ්ඩව අපහායන ආකෘති අනුගමනය කිරීමට ක්‍රියා කළ අතර, අපහායන ගණනය කිරීම්වලදී අවදානම් කර්මාන්තවල නියැලී සිටින පාරිභෝගිකයින් ඒ සඳහා සලකා බැලීමට බැංකුව තවදුරටත් ක්‍රියා කළේය. එබැවින්, බැංකුවේ සැබෑ ණය අහිමිවීම් අඩු මට්ටමක පැවතිය ද, අහිතකර ආර්ථික තත්ත්වයට ඔබින ලෙස කළමනාකරණ උපරිපතනය හරහා කැපීපෙනෙන මට්ටමින් ප්‍රතිපාදන වෙන් කිරීමට බැංකුව කටයුතු කළේය.
දිගින්-දිගට ම පැවති අභියෝගාත්මක සාර්ථ ආර්ථික වාතාවරණයට මුහුණ දෙමින් බැංකුව සහ එහි අනු සමාගම් විමර්ශන කාලය තුළ රු. මිලියන 1,102 ක සියලු බදු පෙර ලාභයක් අත්කර ගැනීමට සමත් විය.
එම කාලය සඳහා බදු පසු ලාභය රු. මිලියන 614 ක් වූ අතර එය 12% ක වසරින් වසර වර්ධනයකි.
වාර්තාකරණ කාලය අවසානයවන විට බැංකුවේ අක්‍රීය ණය අනුපාතය 5.79% කින් යහපත් වූ අතර එය 2020 දෙසැම්බර් මාසයේ සිට 6.05% ක වර්ධනයකි. දුර්වල ආර්ථික තත්ත්වය හමුවේ බැංකුව අක්‍රීය ණය පාලනයකර ගනිමින් සිය සේවා පෙළ ප්‍රමිතිය වෙනුවෙන් අඛණ්ඩව ඉලක්කගත ක්‍රියාමාර්ග අනුගමනය කළේය.
සැප්තැම්බර් මස 30 වනදා වන විට බැංකුවේ සමස්ත වත්කම් රු. මිලියන 118,682 ක් ලෙස වාර්තා විය. ණය සහ හිමිවීම් වසරේ සිට මේ දක්වා රු. මිලියන 69,708 ක් වූ අතර එය 3% ක වසරින් වසර වර්ධනයකි. තැන්පතු පදනම රු. මිලියන 85,259 ක් වූ අතර එය සමාලෝචන කාලය තුළ 3% ක වර්ධනයකි.
බැංකුව තම ප්‍රාග්ධන ප්‍රමාණාත්මතා අනුපාත නියාමන අවශ්‍යතාවලට වඩා ඉතා ඉහල මට්ටමකින් තවදුරටත් පවත්වාගෙන යාමට සමත් වූ අතර වාර්තාකරණ දිනයවන විට 15.20% ක ශක්තිමත් සමස්ත ප්‍රාග්ධන අනුපාතයක් වාර්තා කළේය.
යුනියන් බැංකුව සහ එහි අනුබද්ධිත සමාගම්වන UB Finance Company සහ National Asset Management යන සමාගම්වලින් සමන්විත සමූහයේ සියලු බදු පෙර ලාභය රු. මිලියන 1,325 ක් ලෙස වාර්තා විය. සමූහයේ බදු පසු ලාභය 17% ක වසරින් වසර වර්ධනයක් පෙන්නුම් කළේය. රු. මිලියන 125,163 ක් ලෙස වාර්තා වූ සමූහයේ සමස්ත වත්කම් ප්‍රමාණයෙන් 95% ක ප්‍රතිශතයක් බැංකුව නියෝජනය කරයි. වාර්තාකරණ දිනයවන විට සමූහය 15.67% ක ශක්තිමත් හර ප්‍රාග්ධන අනුපාතයක් පවත්වාගෙන යාමට සමත්ව තිබිණ.
පාරිභෝගිකයින්ගේ අවශ්‍යතාවලට ඔබින මුල්‍ය විසඳුම් ලබාදෙන අතර ම බැංකුවේ ආයතනික, සුළු හා මධ්‍ය පරිමාණ සහ පාරිභෝගික බැංකුකරණ අංශ අඛණ්ඩව ඉලක්කගත වර්ධනයක් අත්කර ගැනීමට සමත් විය. සමාලෝචන කාලය තුළ ඩිජිටල් ක්‍රියාකාරකම් කෙරෙහි බැංකුව දැක්වූ අවධානය තවදුරටත් ඉහල නැංවීමට කටයුතු කෙරුණු අතර එහි එක් පියවරක් ලෙස ‘UBgo’ සන්නාමය යටතේ වැඩිදියුණු කරන ලද ජංගම දුරකථන යෙදවුම හඳුන්වා දීමට ද බැංකුව කටයුතු කළේය. QR ගෙවීම් සහ JustPay තාක්ෂණයෙන් සවිබල ගැන්වුණු ක්ෂණික ගෙවීම් පහසුකමින් යුතු එම ජංගම දුරකථන යෙදවුම මගින් පාරිභෝගිකයින්ගේ බැංකුකරණ කටයුතු වඩාත් පහසු සහ සරළ කිරීමට බැංකුවට හැකි විය.
“වත්මන් අභියෝග හමුවේ දූරදර්ශී ක්‍රියාමාර්ග රැසක් සමගින් ඉදිරියට ගමන්කරන අප, ක්‍රමානුකුලව රට විවෘත කිරීමත් සමග පවතින අවස්ථාවලින් උපරිම ඵල නෙළා ගනිමින් බැංකුව ප්රතිසකස්කරණය කළ ක්‍රමෝපායික අරමුණු සාක්ෂාත්කර ගැනීමට බලාපොරොත්තු වනවා. පාරිභෝගික අවශ්‍යතාවලට අනුකූලව සකස්කරන ලද මුල්‍ය විසඳුම් ලබා දීම සඳහා ඔවුන් සමග සමීපව කටයුතුකරන අතර ම, පවතින තත්ත්වය හමුවේ අපගේ කාර්යමණ්ඩල සාමාජිකයින්ගේත්, පාරිභෝගිකයින්ගේත් යහ පැවැත්ම තහවුරු කිරීම අපගේ ප්‍රමුඛතා ලෙස තවදුරටත් පවතිනු ඇත. ලාභය සහ දූරදර්ශී සේවා වර්ධනය අත්කර ගන්නා අතර ම ශක්තිමත් ද්‍රවශීලතා මට්ටමක් පවත්වාගෙන යාම වසරේ අවසාන කාර්තුවේදී බැංකුවේ ප්‍රධාන ඉලක්කයවනු ඇති.” යනුවෙන් යුනියන් බැංකුවේ අධ්යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී ඉන්ද්‍රජිත් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.


