තිරසර වර්ධනයක් සඳහා පිරිවැය උපරිමකරණය කිරීමට යුනියන් බැංකුවේ අවධානය

බැංකුව

  • සියලු බදු පෙර ලාභය රු. මිලියන 1,422 ක් දක්වා 54% ක වසරින් වසර වර්ධනයක්
  • දළ පොළී ආදායම රු. මිලියන 3,466 ක් දක්වා වර්ධනයක්
  • ගාස්තු සහ කොමිස් මුදල් ආදායම රු. මිලියන 784 ක් දක්වා 12% ක වසරින් වසර වර්ධනයක්
  • සමස්ත ප්‍රාග්ධන ප්‍රමාණාත්මතා අනුපාතය 5% ක්

සමූහය

  • බදු පසු ලාභය රු. මිලියන 606 ක් දක්වා 36% ක වසරින් වසර වර්ධනයක්
  • දළ පොළී ආදායම රු. මිලියන 4,033 ක් දක්වා 21% ක වසරින් වසර වර්ධනයක්
  • සමස්ත ප්‍රාග්ධන ප්‍රමාණාත්මතා අනුපාතය 3% ක්

යුනියන් බැංකුව 2019 වසරේ තුන්වන කාර්තුවේ බැංකුකරණ අංශයට අඛණ්ඩව බලපෑමක් ඇති කළ අභියෝගාත්මක සාර්ව ආර්ථික තත්ත්වයට සාර්ථකව මුහුණ දීම සඳහා සිය සේවා පෙළ ගැස්වීම සහ දූරදර්ශී පිරිවැය කළමනාකරණය කෙරෙහි අඛණ්ඩව අවධානය යොමු කළේය.

මෙහෙයුම් කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම සඳහා ඉලක්කගත ක්‍රියාමාර්ග ගැනීමේ ප්‍රතිඵලයක් ලෙස, සමාලෝචන කාලය තුළ යුනියන් බැංකුවේ මෙහෙයුම් වියදම්වල සිදු වූයේ රු. මිලියන 2,960 ක් දක්වා 5% ක වසරින් වසර වැඩි වීමක් පමණි.

2019 වසරේ තුන්වන කාර්තුව පුරා වරින්-වර සාර්ව ආර්ථික පසුබිම තුළ ඇති වූ අනපේක්ෂිත තත්ත්වයන් හමුවේ සමස්තයක් ලෙස බැංකුකරණ ක්ෂේත්‍රය අභියෝගයට ලක් විය. ප්‍රතිපත්ති අනුපාත සංශෝධන සිදු වුව ද පුද්ගලික ණය සඳහා ඇති ඉල්ලුම ස්ථායි මට්ටමක පැවතීම නිසා වසරේ තුන්වන කාර්තුව තුළ ශේෂ පත්‍රයට එමගින් බලපෑමක් ඇති විය. එවැනි අභියෝගාත්මක ව්‍යාපාරික පසුබිමක් මධ්‍යයේ වුව ද යුනියන් බැංකුව සේවා පෙළ යළි පෙළගැස්වීම සහ ගාස්තු සහ කොමිස් මුදල් ආදායම් උත්පාදනය පුළුල් කිරීම හරහා ආදායම් උපරිමකරණය කර ගැනීමට සමත් විය.

යුනියන් බැංකුවේ සමස්ත මෙහෙයුම් ආදායම රු. මිලියන 4,637 ක් දක්වා 19% ක අඛණ්ඩ වර්ධනයක් පෙන්නුම් කළේය.

සැප්තැම්බර් මස 30 වනදායින් අවසන් වූ සමාලෝචන කාලය තුළ දළ පොළී ආදායම (NII) රු. මිලියන 3,466 ක් ලෙස වාර්තා විය. බැංකුව ගාස්තු ආදායම වර්ධනය සඳහා මනා ලෙස අඛණ්ඩව දියත් කරන ලද ක්‍රමෝපායික ක්‍රියාමාර්ග හේතුවෙන් එම කාලය තුළ එහි ගාස්තු සහ කොමිස් මුදල් ආදායම රු. මිලියන 784 ක් දක්වා 12% ක වසරින් වසර වර්ධනයක් අත්කර ගැනීමට සමත් විය. ආයතනික සහ සුළු හා මධ්‍ය පරිමාණ බැංකුකරණ සේවාලාභීන් වෙනුවෙන් පිරිනමන ලද මුදල් හුවමාරු බැංකුකරණ සේවා හරහා ලබාගත් ගාස්තු ආදායම මෙන්ම ඉලක්කගත ප්‍රතිග්‍රහණ ක්‍රියාමාර්ග හේතුවෙන් බැංකුවට හිමි වූ ක්‍රෙඩිට් කාඩ්පත් සැකසුම් ගාස්තු ද එම ආදායම් වර්ධනය සඳහා මූලික වශයෙන් දායක විය.

යුනියන් බැංකුවේ භාණ්ඩාගාර කාර්යසාධනය ද සැලකිය යුතු මට්ටමක පැවති අතර ප්‍රාග්ධන ප්‍රතිලාභ රු. මිලියන 380 ක් ලෙස වාර්තා විය. එය 83% ක කැපී පෙනෙන වසරින් වසර වර්ධනයකි. සමාලෝචන කාල සීමාව තුළ සිදු වූ විනිමය අනුපාත පහත වැටීම සහ කැපී පෙනෙන අන්දමින් සිදු වූ අරමුදල් හුවමාරුව හේතුවෙන් බැංකුවේ වෙනත් මෙහෙයුම් ආදායමේ අඩු වීමක් පෙන්නුම් කළේය. අහිතකර සාර්ව ආර්ථික තත්ත්වය හමුවේ වෙළඳ ගනුදෙනුවන සිදු වූ පහත වැටීම ද ඉහත තත්ත්වයට බලපෑ තවත් සාධකයකි.

සමාලෝචන කාල සීමාව තුළ යුනියන් බැංකුවේ පූර්ව අපහායන ලාභය රු. මිලියන 1,677 ක් වූ අතර එය 54% ක වසරින් වසර වර්ධනයකි. සමාලෝචන කාල සීමාව තුළ බැංකුවේ අපහායන ගාස්තුව රු. මිලියන 354 ක් විය. 2019 සැප්තැම්බර් මස 30 වනදායින් අවසන් වූ කාල සීමාව තුළ ඒකාබද්ධ අපහායන ගාස්තුව ශ්‍රී ලංකා විගණන ප්‍රමිතීන් – SLFRS 9 ( මුල්‍ය මෙවලම්) වලට අනුකූලව ගණනය කෙරුණු අතර ඉන් පෙර කාල සීමාව තුළ එම ගාස්තු LKAS 39 (මුල්‍ය මෙවලම්) වලට අනුකූලව ගණනය කෙරිණි. සාර්ව ආර්ථික අභියෝග මැනවින් පිළිබිඹු කරමින් යුනියන් බැංකුවේ සමස්ත අක්‍රිය ණය ප්‍රතිශතය 5.2% ක් ද දළ අක්‍රිය ණය ප්‍රතිශතය 3.2% ක් ද ලෙස පෙන්නුම් කළේය.

දැවැන්ත අභියෝග රැසක් හමුවේ වුව ද යුනියන් බැංකුව ඉදිරි වසර සඳහාවන සිය ක්‍රමෝපායික වර්ධනය ළඟා කර ගැනීම සඳහා අඛණ්ඩව ඉදිරියට ගමන් කරන බැව් පිළිබිඹු කරමින් සැප්තැම්බර් මස 30 වනදායින් අවසන් වූ කාල සීමාව සඳහා රු. මිලියන 1,422 ක සියලු බදු පෙර ලාභයක් වාර්තා කිරීමට සමත් වූ අතර එය 54% ක වසරින් වසර වර්ධනයකි.

බැංකුවේ අනු සමාගම්වල ලාභ දායකත්වය රු. මිලියන 98 ක් ලෙස වාර්තා වූ අතර එය රු. මිලියන 51 ක වසරින් වසර වර්ධනයකි. ඒ සඳහා වැඩිම දායකත්වයක් ලබා දුන්නේ යූබී ෆිනෑන්ස් ලිමිටඩ් සමාගමයි.

මුල්‍ය සේවා මත පැනවූ ආදායම්, VAT, NBT සහ DRL බදු රු. මිලියන 889 ක් වූ අතර එය 67% ක වසරින් වසර වර්ධනයකි. බැංකුවේ බදු පසු ලාභය (PAT) රු. මිලියන 533 ක් ලෙස සටහන් වූ අතර එය 37% ක වසරින් වසර වර්ධනයකි.

බැංකුවේ සමස්ත පරිපූර්ණ ආදායම රු. මිලියන 867 ක් විය. වෙනත් පරිපූර්ණ ආදායම් හරහා ණය මෙවලම් සාධාරණ අගයක් යටතේ තක්සේරු කිරීමෙන් ඇති වූ ධනාත්මක බලපෑම හේතුවෙන් එම ආදායම 469% ක වසරින් වසර වර්ධනයක් පෙන්නුම් කළේය.

සැප්තැම්බර් මස 30 වනදා වන විට බැංකුවේ සමස්ත වත්කම් ප්‍රමාණය රු. මිලියන 115,574 ක් ලෙස සටහන් විය. 2019 තුන්වන කාර්තුව අවසන්වන විට බැංකුවේ ණය සහ අයකර ගැනීම් රු. මිලියන 74,998 ක් ලෙස ද, තැන්පතු පදනම රු. මිලියන 74,707 ක් ලෙස ද වාර්තා විය. සමස්ත සාමාන්‍ය CASA අගය රු. මිලියන 18,923 ක් දක්වා 22% ක වසරින් වසර වර්ධනයක් අත්කර ගත්තේය. පාරිභෝගික, ආයතනික සහ සුළු හා මධ්‍යම පරිමාණ අංශ මූලික කර ගනිමින් සිදු කෙරුණු ඉලක්කගත අත්කර ගැනීමේ ක්‍රමෝපාය හේතුවෙන් ශක්තිමත් CASA ආදායමක් හිමිකර ගැනීමට බැංකුවට හැකි විය.

ශක්තිමත් ප්‍රාග්ධන අනුපාතික පවත්වා ගැනීම කළමනාකරණයේ ප්‍රමුඛතාවක් ලෙස තවදුරටත් පැවතිණි. යුනියන් බැංකුවේ සමස්ත ප්‍රාග්ධන ප්‍රමාණාත්මතා අනුපාතිකය 2019 සැප්තැම්බර් මස 30 වනදා වන සිට 16.5% ක් වූ අතර එම අගය නියාමන අවශ්‍යතාවලට වඩා බෙහෙවින් ඉහළ අගයක් විය.

යුනියන් බැංකුව සහ නැෂනල් ඇසට් මැනේජ්මන්ට් ලිමිටඩ් සහ යූබී ෆිනෑන්ස් කම්පනි ලිමිටඩ් යන බැංකුවට අනුබද්ධිත සමාගම් දෙක ද ඇතුළත් සමූහයේ සමාලෝචන කාලය තුළ බදු පසු ලාභය රු. මිලියන 606 ක් වූ අතර එය 36% ක වසරින් වසර වර්ධනයකි. සමූහයේ සමස්ත වත්කම් ප්‍රමාණය රු. මිලියන 124,061 ක් ලෙස වාර්තා වූ අතර ඉන් 93% ක් සඳහා දායකත්වය ලබා දී ඇත්තේ යුනියන් බැංකුවයි. ශේෂ පත්‍ර දිනයවන විට සමූහය 16.3% ක ශක්තිමත් හර ප්‍රාග්ධන අනුපාතිකයක් පවත්වා ගැනීමට සමත්ව සිටියේය.

 

මෙහෙයුම් කාර්යසාධනය

යුනියන් බැංකුව තුන්වන කාර්තුව තුළ අභියෝගාත්මක වෙළඳපොළ තත්ත්වයන් හමුවේ සාමාන්‍ය ව්‍යාපාරික වර්ධනයක් අත්කර ගත්තේය.

තරගකාරී වෙළඳපොළ වටපිටාව තුළ බැංකුවේ ආයතනික බැංකුකරණ ව්‍යාපාරික කටයුතු අඛණ්ඩව ප්‍රගතියක් අත්කර ගත් අතර සමාලෝචන කාලය තුළ ආදායම් සහ වත්කම් වර්ධනය සම්බන්ධ මූලික ඉලක්ක සපුරා ගැනීමට බැංකුව සමත් විය.

වෙහෙසකර ආර්ථික පසුබිම හේතුවෙන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය (SME) කෙරෙහි වැඩි බලපෑමක් ඇති වූ අතර වෙළඳපොළේ කුඩා පරිමාණ ව්‍යවසායකයන්ගේ අනුගත වීමේ හැකියාව එමගින් අඛණ්ඩව පරික්ෂාවට ලක් කෙරිණි. සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන් මුහුණදෙන අභියෝග අභිබවමින් යුනියන් බැංකුව අඛණ්ඩව ක්‍රමෝපායිකව වැදගත්වන අංශ හඳුනා ගනිමින් එම ව්‍යවසායවලට ම විශේෂිත වූ විසඳුම් සහ උපදේශන සේවා ලබාදීම හරහා ඔවුන්ගේ වර්ධනය සහ දරාගැනීමේ හැකියාව තහවුරු කිරීමට කටයුතු කළේය.

යුනියන් බැංකුවේ ප්‍රමුඛත ම මුදල් හුවමාරු බැංකුකරණ විසඳුමවන Union Bank Biz Direct පහසුකම සුළු හා මධ්‍යම පරිමාණ සේවාලාභීන් හට පිරිවැය කාර්යක්ෂම මුදල් කළමනාකරණ ස්වයංක්‍රිය මෙවලමක් ලෙස අඛණ්ඩව ප්‍රසාදය හිමිකර ගැනීමට සමත් විය. සිය පාරිභෝගිකයන් හට තවත් පහසු සේවාවක් ලබාදීම සඳහා තත්කාලීන ව්‍යාපාරික විසඳුමක් ලෙස එය වැඩිදියුණු කිරීමට ද බැංකුව මේවන විට කටයුතු කරමින් සිටී.

පාරිභෝගික සේවාලාභීන්ගේ නිවාස මූලධන අවශ්‍යතා සපුරාලීම සඳහා විශේෂ අවධානයක් යොමු කිරීම හේතුවෙන් සමාලෝචන කාල සීමාව තුළ පාරිභෝගික ණය සහ අත්තිකාරම්වල කැපී පෙනෙන වර්ධනයක් දැකගත හැකි විය. විනෝද, ආහාර-පාන, සාප්පු සවාරි ආදී විවිධ අංශ රැසක ආකර්ෂණීය ජීවන ශෛලීය දීමනා රැසක් පිරිනමමින් දියත් කෙරුණු ඉලක්කගත විකුණුම් සහ අත්කර ගැනීමේ ප්‍රවර්ධන වැඩසටහන් හරහා බැංකුවේ ක්‍රෙඩිට් කාඩ්පත් සේවා පෙළ තවදුරටත් පුළුල් කර ගැනීමට හැකි විය.

ජංගම සහ ඉතිරිකිරීමේ (CASA) ශේෂ වැඩිදියුණු කර ගැනීම ඉලක්කකර ගනිමින් යුනියන් බැංකුව ළමා ඉතිරිකිරීමේ ගිණුම්, ආයෝජන සැලසුම් සහ ආයතනික ජංගම හා ඉතිරිකිරීමේ ශේෂ ආදී සේවා රැසක් අඛණ්ඩව පුළුල් කිරීමට කටයුතු කළේය. ශාඛා, සබඳතා කළමනාකාරවරුන් සහ නව අත්කර ගැනීම් සඳහා කැපවූ කණ්ඩායම් හරහා එම ඉලක්කය සපුරා ගැනීමට යුනියන් බැංකුවට හැකි විය. එහි ප්‍රතිඵලයක් ලෙස බැංකුවේ CASA පදනම 2019 සැප්තැම්බර් මාසය අවසානවන විට 26.4% ක වර්ධනයක් අත්කර ගෙන තිබිණ.

ක්‍රියාවලි සැකසීම හරහා මෙහෙයුම් කාර්යක්ෂමතාව සහ පුළුල් ඵලදායිතාවක් අත්කර ගැනීම සඳහා බැංකුව දැක්වූ අඛණ්ඩ කැපවීම හේතුවෙන් සමාලෝචන කාලය තුළ පිරිවැය කළමනාකරණය වැඩිදියුණු කර ගැනීමට බැංකුව සමත් විය.

අන්තර්ජාල සහ ජංගම බැංකුකරණ පහසුකම් හරහා සිය සේවාලාභීන් හට පුළුල් බැංකුකරණ පහසුකමක් පිරිනැමීමට යුනියන් බැංකුව තවදුරටත් කටයුතු කළේය. ක්‍රෙඩිට් කාඩ්පත් ස්වයං සේවා පහසුකම හඳුන්වා දීමට අවශ්‍ය කටයුතු මෙම කාලය තුළ සිදු කෙරුණු අතර ඉහත සඳහන් මුදල් හුවමාරු පහසුකම් හරහා මුදල් ගනුදෙනු සඳහා පුළුල් සුරක්ෂිත බවක් තහවුරු කිරීමට කටයුතු කෙරිණි.

2019 අගෝස්තු මසදී යුනියන් බැංකුවේ www.unionb.com වෙබ් අඩවිය ඇමරිකා එක්සත් ජනපදයේ dotCoMM සම්මාන උළෙලේදී මුල්‍ය කාණ්ඩය යටතේ රන් සම්මානයෙන් පිදුම් ලැබුවේය. සිය පාරිභෝගිකයන් හට උපරිම පහසුව සලසා දෙන අතරතුර ඔවුන්ගේ මුදල් ගනුදෙනුවන සුරක්ෂිත බව තහවුරු කිරීම සඳහා නවීනත ම තාක්ෂණික ක්‍රමවේද යොදා ගැනීමට යුනියන් බැංකුව දක්වන කැපවීම මෙම සම්මාන මගින් මැනවින් පිළිබිඹු විය.

“අභියෝගාත්මක ආර්ථික පසුබිම සහ ඉහළ බදු අයකිරීම් හමුවේ වුව ද අප ගත වූ මාස 9 ක කාලය පුරා ශක්තිමත් කාර්යසාධනයක් අත්කර ගැනීමට සමත්ව සිටිනවා. මෙය, අසීරු තත්ත්ව හමුවේ නොසැලී ඉදිරියට ගමන් කිරීම සඳහා බැංකුව අනුගමනය කරන ක්‍රමෝපායික දිශානතියේ සාර්ථකත්වයට මනාව සාක්ෂ්‍ය දරනවා. මෙහෙයුම් කාර්යක්ෂමතාව, ඩිජිටල් බැංකුකරණය සහ සේවා පෙළ පුළුල් කිරීම කෙරෙහි අඛණ්ඩව අවධානය යොමු කරමින් වසරේ අවසාන කාර්තුවේදී තවත් විශිෂ්ට කාර්යසාධනයක් පෙන්නුම් කිරීමට හැකිවනු ඇති බව මාගේ විශ්වාසයයි. මෙම සාර්ථකත්වය මත පදනම්ව 2019 වසර සඳහා අප ඇතිකරගෙන තිබෙන ක්‍රමෝපායික ඉලක්ක සාක්ෂාත් කර ගනිමින් අඛණ්ඩව වර්ධනයක් අත්පත් කර ගැනීමට අප බලාපරොත්තු වනවා.” යනුවෙන් යුනියන් බැංකුවේ අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී ඉන්ද්‍රජිත් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

බැංකු

  • Amana Bank PLC
  • Bank of Ceylon
  • Cargills Bank Ltd
  • Citibank
  • Commercial Bank of Ceylon PLC
  • DFCC Bank
  • Hatton National Bank PLC
  • HDFC Bank
  • HSBC Ltd
  • National Development Bank PLC
  • Nations Trust Bank
  • Pan Asia Banking Corporation
  • People’s Bank
  • Public Bank Berhard
  • Sampath Bank PLC
  • Seylan Bank PLC
  • Standard Chartered Bank

ආයතන

  • Merchant Bank of Sri Lanka Finance
  • Central Finance PLC
  • Commercial Leasing and Finance PLC
  • HNB Finance
  • LB Finance PLC
  • People’s Leasing and Finance PLC
  • Softlogic Finance Plc
  • Singer Finance (Lanka) PLC