යුනියන් බැංකුව 2025 පළමු අර්ධ වාර්ෂිකය සඳහා රු. මිලියන 834 ක බදු පෙර ලාභයක් වාර්තා කරයි

යුනියන් බෑන්ක් ඔෆ් කලම්බෝ පීඑල්සී, ජුනි මස 30 වනදායින් අවසන් වූ 2025 පළමු අර්ධය සඳහා රු. මිලියන 251 ක බදු පසු ලාභයක් වාර්තාකර ඇත. එය, 2024 පළමු අර්ධය සමග සැසඳීමේදී 247% ක වර්ධනයක් වීම විශේෂත්වයකි. අඛණ්ඩව බැංකුවේ ශේෂ පත්‍රය වර්ධනය වීම සහ ක්‍රමෝපායික මෙහෙයුම් වැඩිදියුණු කිරීම් එම ශක්තිමත් වර්ධනයට හේතුවයි.

යුනියන් බැංකුවේ බදු පෙර ලාභය ද රු. මිලියන 834 ක් දක්වා වර්ධනය වී ඇති අතර එය 58% ක වර්ධනයකි. ප්‍රධාන බැංකු මෙහෙයුම් කටයුතුවල සිදු වූ පුළුල් කාර්යසාධනය සහ අනු සමාගම්වල දායකත්වයේ සිදු වූ වැඩි වීම එම වර්ධනයට ප්‍රධාන වශයෙන් හේතු විය.

කල්බදු සහ උකස් අංශවල ඉලක්කගත වර්ධන ක්‍රමෝපාය හේතුවෙන් 2025 පළමු අර්ධය තුළ බැංකුවේ ශුද්ධ ණය සහ අත්තිකාරම් රු. බිලියන 100 ඉක්මවූ අතර, එය වසර ආරම්භයේ සිට මේ දක්වා 24% ක වර්ධනයකි. එය, බැංකුවේ ආදායම් වර්ධනයට සෘජුවම බලපෑ අතර, ශුද්ධ ගාස්තු සහ කොමිස් ආදායමේ 25% ක වර්ධනය සඳහා දායක වූ ඉහළ ණය ධාරිතාව සහ වෙළෙඳ කටයුතු ද ඊට බලපෑ අනෙකුත් සාධක වේ.

තවද, ඉහළ ණය ප්‍රමිතිය සහ ආපසු අයකර ගැනීමේ ක්‍රියාමාර්ග හේතුවෙන්, යුනියන් බැංකුව රු. මිලියන 23 ක ශුද්ධ ණය හානිකරණ ප්‍රත්‍යාවර්තනයක් ද වාර්තා කළේය. ව්‍යාපාරික වර්ධනය සහ ක්‍රමෝපායික වැඩසටහන් සඳහා අඛණ්ඩව සිදු කෙරුණු ආයෝජන හේතුවෙන් මෙහෙයුම් වියදම් ඉහළ ගිය නමුත්, ඉහළ පොළී නොවන ආදායම සහ මෙහෙයුම් කාර්යක්ෂමතාව මත මෙහෙයුම් ආදායමේ 8% ක වර්ධනයක් වාර්තා වී තිබේ. වැඩිදියුණු වූ තැන්පතු මිශ්‍රිතය පෙන්නුම් කරමින්, 28.3% ක ඉහළ CASA අනුපාතය හේතුවෙන් රු. බිලියන 108 ක පාරිභෝගික තැන්පතු ප්‍රමාණයක් අදාළ කාලය තුළ වාර්තා විය. බැංකුව ශක්තිමත් ප්‍රාග්ධන ප්‍රමාණාත්මතා මට්ටම් ද පවත්වා ගැනීමට සමත් වූ අතර, සමස්ත ප්‍රාග්ධන ප්‍රමාණාත්මතා අනුපාතිකය (CAR) 13.65% ක් ද, පළමු මට්ටමේ ප්‍රාග්ධන ප්‍රමාණාත්මතා අනුපාතිකය 12.64% ක් ද ලෙස නියාමන අවශ්‍යතාවලට වඩා කැපීපෙනෙන ලෙස ඉහළ මට්ටමක පැවතීම විශේෂත්වයකි.

යුනියන් බැංකුවේ ශක්තිමත් මුල්‍ය පදනම සහ වර්ධන සැලසුමට අනුව, සමූහයේ සමස්ත වත්කම් ප්‍රමාණය රු. බිලියන 171 ක් දක්වා වර්ධනය විය.

ලීසිං සේවාව අවශ්‍ය වන පාරිභෝගිකයන්ට වේගවත් සහ පහසු කාරක ප්‍රාග්ධන විසඳුමක් පිරිනමන Turbo Draft පහසුකම හඳුන්වා දීම සහ කල්බදු පාරිභෝගිකයින්ගේ අවශ්‍යතා අනුව සැකසූ මුල්‍ය විසඳුම් සඳහා ප්‍රවේශය තවදුරටත් පුළුල් කරමින් කොහුවල ප්‍රදේශයේ නව කල්බදු මධ්‍යස්ථානයක් විවෘත කිරීම මෙම කාලය තුළ මෙහෙයුම් කටයුතු තුළ සිදු වූ සුවිශේෂී සිදුවීම් අතර වේ. තවද, යුනියන් බැංකුව අන්තර්ජාතික වෙළෙඳ සේවා සඳහා ම වෙන් වූ පරිපූර්ණ මධ්‍යස්ථානයක් ලෙස “Trade Connect” මධ්‍යස්ථානය ද සිය ප්‍රධාන කාර්යාලයේදී ආරම්භ කළේය. මෙම ක්‍රියාමාර්ග මගින්, පාරිභෝගික සහ ව්‍යාපාරික යන අංශ දෙක තුළ යුනියන් බැංකුව හිමිකර ගෙන සිටින විශ්වාසය තවදුරටත් ශක්තිමත් විය.

යුනියන් බැංකුවේ නොසැලෙන ගුණය සහ මෑතකදී දියත් කළ පරිවර්තනීය වැඩසටහන්වල ඵලදායී බව මෙම ශක්තිමත් මුල්‍ය කාර්යසාධනයට හේතු වූ බව එම බැංකුවේ සභාපති දිනේෂ් වීරක්කොඩි මහතා සඳහන් කළේය. තිරසර වර්ධනයක් අත්කර ගැනීම සඳහා පාරිභෝගික පදනම ශක්තිමත් කිරීමටත්, පුළුල් කිරීමටත් යුනියන් බැංකුව ඉදිරියටත් කටයුතු කරන බව ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

“අඛණ්ඩ ශේෂ පත්‍ර වර්ධනය මෙන්ම වත්කම් හා වගකීම් කළමනාකරණය සඳහා ගත් විනයානුකුල ප්‍රවේශය මත ගොඩනගා ගත් ධනාත්මක ව්‍යාපාරික ගමන, 2025 පළමු කාර්තුවේ මුල්‍ය ප්‍රතිඵල මගින් නිරූපණය වනවා. ඩිජිටල් බැංකුකරණය හරහා පාරිභෝගිකයාට අගය එකතු කිරීම සඳහාත්, පාරිභෝගික-කේන්ද්‍රීය විසඳුම්වලට සහයවන ව්‍යාපාරික ක්‍රමවේද යළි සකස් කිරීම සඳහාත් ප්‍රාග්ධන තාක්ෂණික වර්ධනය ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරනවා,” යනුවෙන් යුනියන් බැංකුවේ අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී ඩිල්ෂාන් රුද්‍රිගු මහතා සිය අදහස් පළ කළේය.

Leave a comment

For security, use of Google's reCAPTCHA service is required which is subject to the Google Privacy Policy and Terms of Use.

බැංකු

  • Amana Bank PLC
  • Bank of Ceylon
  • Cargills Bank Ltd
  • Citibank
  • Commercial Bank of Ceylon PLC
  • DFCC Bank
  • Hatton National Bank PLC
  • HDFC Bank
  • HSBC Ltd
  • National Development Bank PLC
  • Nations Trust Bank
  • Pan Asia Banking Corporation
  • People’s Bank
  • Public Bank Berhard
  • Sampath Bank PLC
  • Seylan Bank PLC
  • Standard Chartered Bank

ආයතන

  • Merchant Bank of Sri Lanka Finance
  • Central Finance PLC
  • Commercial Leasing and Finance PLC
  • HNB Finance
  • LB Finance PLC
  • People’s Leasing and Finance PLC
  • Softlogic Finance Plc
  • Singer Finance (Lanka) PLC