යුනියන් බැංකුව 2019 පළමු කාර්තුව තුළ සියලු බදු පෙර ලාභයේ 49%ක දැවැන්ත වර්ධනයක් අත්කර ගනී

බැංකුවේ කාර්යසාධනය

  • මෙහෙයුම් කටයුතුවල රු. මිලියන 362ක් දක්වා 62%ක වසරින් වසර වර්ධනයක්
  • සියලු බදු පෙර ලාභයේ රු. මිලියන 366ක් දක්වා 49%ක වසරින් වසර වර්ධනයක්
  • දළ පොළී ආදායමේ රු. මිලියන 266ක් දක්වා 19%ක වසරින් වසර වර්ධනයක්
  • ගාස්තු සහ කොමිස් මුදල් ආදායමේ රු. මිලියන 266ක් දක්වා 19%ක වර්ධනයක්
  • සමස්ත ප්‍රාග්ධන ප්‍රමාණාත්මකභාවයේ අනුපාතය 16.9% කි

සමූහයේ කාර්යසාධනය

  • සියලු බදු පෙර ලාභයේ රු. මිලියන 401ක් දක්වා 31%ක වසරින් වසර වර්ධනයක්
  • දළ පොළී ආදායමේ රු. මිලියන 1,219ක් දක්වා 17%ක වසරින් වසර වර්ධනයක්
  • ගාස්තු සහ කොමිස් ආදායමේ රු. මිලියන 296ක් දක්වා 8%ක වර්ධනයක්

 

හර බැංකුකරණ වර්ධනය සහ ලාභය

පසුගිය වසරේ ජනවාරි මාසයේ පටන් ක්‍රියාත්මක කෙරුණු තුන් අවුරුදු වර්ධන ක්‍රමෝපායික සැලසුමට අනුව හිමිකර ගත් වර්ධනය තවදුරටත් පිළිබිඹු කරමින් යුනියන් බැංකුව 2019 පළමු කාර්තුව තුළ සිය හර බැංකුකරණ මෙහෙයුම් කටයුතුවල කැපීපෙනෙන වර්ධනයක් අත්කර ගැනීමට සමත්විය. ඒ අනුව එම කාලය තුළ මෙහෙයුම් ක්‍රියාකාරකම් මගින් රු. මිලියන 362 ක ලාභයක් උපයා ගැනීමට එම බැංකුව සමත් වූ අතර එය 62%ක වසරින් වසර වර්ධනයකි. පසුගිය කාර්තුව තුළ මෙරට පැවති අභියෝගාත්මක සාර්ව ආර්ථික පසුබිම තුළ මෙම වර්ධනය අත්කර ගැනීමට බැංකුව සමත් වීම ද විශේෂත්වයකි.

වසරේ ක්‍රමෝපායික වර්ධන ඉලක්ක ළඟා කර ගැනීම සඳහා යුනියන් බැංකුව දැක්වූ විශිෂ්ට කාර්යසාධනය පිළිබිඹු කරමින් 2019 මාර්තු මාසයෙන් අවසන් වූ කාර්තුව තුළ යුනියන් බැංකුව රු. මිලියන 366ක දැවැන්ත සියලු බදු පෙර ලාභයක් අත්කර ගැනීමට සමත්වූ අතර එය 49%ක වසරින් වසර වර්ධනයකි.

ව්‍යාපාරික ඒකක තුළ සහ ඒ අතර සේවා පෙළ යළි පෙළගැස්වීම හරහා ආදායම් උපරිම තලයකට ගෙන ඒම සඳහා වූ යුනියන් බැංකුවේ අඛණ්ඩ ඉලක්කය නිසාම එම බැංකුවේ දළ පොළී ආදායම (NII) 19%ක වසරින් වසර වර්ධනයක් හිමිකර ගත්තේය. මාර්තු මස 31 වනදා දක්වා කාල පරාසය තුළ තැන්පතු පිරිවැය ඉහල ගිය ද දළ පොළී ආදායම රු. මිලියන 1,013ක් ලෙස වාර්තා විය.

සමාලෝචන කාල පරාසය තුළ යුනියන් බැංකුවේ ගාස්තු සහ කොමිස් මුදල් ආදායම රු. මිලියන 266ක් ලෙස වාර්තා වූ අතර එය 19%ක වසරින් වසර වර්ධනයකි. 2018 වසරේ දී මුල්වරට හඳුන්වා දෙන ලද යුනියන් බැංකු ක්‍රෙඩිට් කාඩ්පත් ඇතුළු විවිධ සේවා ගාස්තු ආදායමට දායකත්වය ලබාදී ඇත. නොවැළැක්විය හැකි වෙළඳපල තත්ත්ව හමුවේ වෙළඳ සහ ප්‍රේෂණ කටයුතුවලට අදාළ ගාස්තු සුළු වසරින් වසර අඩුවක් පෙන්නුම් කළේය.

රාජ්‍ය සුරැකුම්පත්වලින් එම කාලය තුළ හිමිවූ ප්‍රාග්ධන ප්‍රතිලාභවල 23%ක වසරින් වසර වර්ධනයක් පෙන්නුම් කළ අතර එම අගය රු. මිලියන 71කි. එම කාලය තුළ ආයෝජන ඒකක ආදායම රු. මිලියන 70ක් වූ අතර එය 33%ක වසරින් වසර අඩුවීමකි. පසුගිය වසරේ මැද භාගයේදී බදු රෙගුලාසිවල සිදුවූ වෙනස්වීම් හේතුවෙන් ඒකක මත සිදු කෙරුණු ආයෝජන අවමවීම එම සෘණාත්මක වර්ධනයට බලපෑවේය. එමෙන්ම ශ්‍රී ලංකා රුපියල ශීඝ්‍රයෙන් අවප්‍රමාණය වීම නිසා 2019 පළමු කාර්තුව තුළ විදේශ විනිමය ආදායම 71% ක වසරින් වසර අඩුවීමක් පෙන්නුම් කළේය.

සමාලෝචන කාලය තුළ යුනියන් බැංකුවේ සමස්ත මෙහෙයුම් ආදායම රු. මිලියන 1,368ක් ලෙස වාර්තා වූ අතර එය 8%ක වසරින් වසර වර්ධනයකි. සමස්ත මෙහෙයුම් වියදම් දූරදර්ශී ලෙස කළමනාකරණය කෙරුණු අතර එම කාලය තුළ එහි සිදුවූයේ 2%ක වසරින් වසර වර්ධනයක් පමණි. එම අගය රු. මිලියන 955ක් වන අතර එහි ප්‍රතිඵලයක් ලෙස මෙහෙයුම් අන්තය රු. මිලියන 413ක් දක්වා 24%ක වසරින් වසර වර්ධනයක් අත්කර දුන්නේය.

පුද්ගල අපහායනයේ අඩුවීම පිළිබිඹු කරමින් 2019 පළමු කාර්තුව තුළ අපහායන ගාස්තු රු. මිලියන 51ක් ලෙස වාර්තා වූ අතර එය 53%ක වසරින් වසර අඩුවීමකි.

අනු සමාගම්වල ලාභ බෙදාහැරීම රු. මිලියන 4ක් ලෙස වාර්තා වූ අතර පසුගිය වසර සමග සැසඳීමේදී එය රු. මිලියන 19ක වසරින් වසර අඩුවීමකි. එම කාලය තුළ පැවති අහිතකර වෙළඳපල තත්ත්වය බැංකුවේ අනු සමාගම් දෙකට ම බලපෑම ඊට හේතුවයි.

ඵලදායී පොළී අනුපාතවල සිදුවුණු කැපීපෙනෙන වර්ධනය එම කාලය තුළ බදු පසු ලාභය (PAT) සඳහා බලපෑවේය. පසුගිය වසරේ එම කාලය තුළ 52%ක් ලෙස පැවති ඵලදායී බදු අනුපාතය මේ වසරේ එම කාලය තුළ 72%ක් බවට පත්විය. ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර, ඒකක, ණයකර තුළ සිදු කෙරුණු ආයෝජන මත හිමිවූ ලාභ සඳහා බදු නිදහස් කිරීම් මෙන්ම හඳුන්වා දෙන ලද ණය ආපසු ගෙවීමේ ගාස්තුව (DRL) ද එම ඵලදායී බදු අනුපාතය වැඩිවීමට බලපෑවේය. තවද, ජාතික බදු ණය ඉවත් කිරීම ද ඵලදායී බදු අනුපාතය සඳහා තවදුරටත් බලපෑවේය. එහි ප්‍රතිඵලයක් වශයෙන් එම කාලය තුළ බදු පසු ලාභය රු. මිලියන 105ක් ලෙස වාර්තා වූ අතර 19%ක වසරින් වසර අඩුවීමක් පෙන්නුම් කරයි.

බැංකුවේ සමස්ත පරිපූර්ණ ආදායම රු. මිලියන 295ක් වූ අතර එය රු. මිලියන 246ක වසරින් වසර වර්ධනයකි. වෙනත් පරිපූර්ණ ආදායම් හරහා සාධාරණ අගයක් යටතේ ණය මෙවලම් තක්සේරු කිරීම එම ධනාත්මක තත්ත්වයට පදනම විය.

මාර්තු මස 31 වනදා වන විට බැංකුවේ සමස්ත වත්කම් රු. මිලියන 124,624ක් ලෙස වාර්තා විය. බැංකුවේ ණය සහ ලැබීම් රු. මිලියන 76,279 ක් වූ අතර එය 3%ක වසරින් දින දක්වා 3%ක වර්ධනයකි. ශේෂ පත්‍ර දිනයවන විට තැන්පතු පදනම රු. මිලියන 77,897ක් ලෙස දැක්විණි. ණය තැන්පතු අනුපාතිකය 99%ක් ලෙස වාර්තා වූ එය පසුගිය වසරේ එම කාලයේදී වාර්තා වූයේ 105%ක් ලෙසය. දූරදර්ශී ආපදා කළමනාකරණ ක්‍රමවේද සමගින් බැංකුව අඛණ්ඩව සිය වත්කම් ප්‍රමිතිය කෙරෙහි අවධානය යොමු කළ අතර වාර්තා කාලය අවසානයේදී බැංකුවේ අක්‍රිය ණය අනුපාතය (NPL) 3.1%ක් ලෙස සටහන් විය.

එමෙන්ම සමාලෝචන කාලය තුළ සමස්ත CASA අගය රු. මිලියන 20,077 ක් දක්වා වර්ධනය වූ අතර එය 22%ක වසරින් වසර වර්ධනයකි. පාරිභෝගික, ආයතනික සහ සුළු, කුඩා හා මධ්‍ය පරිමාණ බැංකුකරණ අංශ මගින් සිදු කෙරුණු ඉලක්කගත ප්‍රතිග්‍රහණ ක්‍රමෝපාය හරහා බැංකුව ශක්තිමත් CASA අභ්‍යන්තර ගලනයක් පවත්වා ගැනීමට සමත් විය.

බැංකුව සිය ශක්තිමත් ප්‍රාග්ධන ප්‍රමාණනය ඉදිරියටත් පවත්වා ගැනීමට සමත්වූ අතර ශේෂ පත්‍ර දිනයවන විට සමස්ත ප්‍රාග්ධන අනුපාතිකය 16.9%ක් ලෙස සටහන් විය.

යුනියන් බැංකුව සහ UB Finance Company Limited සහ National Asset Management Limited යන එහි අනු සමාගම් දෙකෙන් සමන්විත සමූහය 2019 පළමු කාර්තුව සඳහා රු. මිලියන 401 ක සියලු බදු පෙර ලාභයක් වාර්තා කළ අතර එය 31%ක වසරින් වසර වර්ධනයකි. රු. මිලියන 134,065ක් ලෙස සටහන් වූ සමූහයේ සමස්ත වත්කම් ප්‍රමාණයෙන් 93%ක ප්‍රතිශතයක් බැංකුවේ වත්කම් වේ. ශේෂ පත්‍ර දිනය වන විට සමූහය 16%ක ශක්තිමත් හර ප්‍රාග්ධන අනුපාතයක් පවත්වා ගැනීමට සමත් විය.

 

ව්‍යාපාර කාර්යසාධනය සහ ක්‍රමෝපායික සචලකාරක

සිය තුන් අවුරුදු වර්ධන ක්‍රමෝපායික සැලසුමේ දෙවන වසරේදී ම වර්ධනීය තත්ත්වයක් අත්පත් කර ගනිමින් යුනියන් බැංකුවේ ආයතනික බැංකුකරණ සේවා පෙළ, පළමු කාර්තුව තුළ සැලකිය යුතු මට්ටමේ කාර්යසාධනයක් පෙන්නුම් කළේය. වත්කම් සහ වගකීම්හි සුවිශේෂී වර්ධනය සමගින් ආයතනික ණය 18%කින් ද, ආයතනික බැංකුකරණ අංශයේ තැන්පතු පදනම 45%කින් වසරින් වසර වර්ධනයක් හිමිකර ගැනීමට සමත්විය. ඒ අතර, යුනියන් බැංකුවේ මුදල් කළමනාකරණ යෝජනාවවන Union Bank Biz Direct ද බැංකුවේ සමස්ත CASA වර්ධනයට කැපීපෙනෙන දායකත්වයක් ලබා දුන්නේය.

තෝරාගත් කර්මාන්ත සඳහා මහා පරිමාණ වශයෙන් ණය මුදා හැරීම ඉලක්කර ගනිමින් ක්‍රමෝපායික ණය ලබාදීමේ ප්‍රවේශයක් අනුගමනය කළ යුනියන් බැංකුව 2019 පළමු කාර්තුව තුළදී ද සිය සුළු, කුඩා හා මධ්‍ය පරිමාණ බැංකුකරණ සේවා තුළ අඛණ්ඩ වර්ධනයක් අත්කර ගැනීමට සමත්විය. බැංකුවේ වත්කම් වර්ධනය සඳහා මග විවර කරමින් ධනාත්මක ආරම්භයක් ලබාගත් එම අංශය, සුළු, කුඩා හා මධ්‍ය පරිමාණ CASA පදනම ඇතුළුව ශාඛා මට්ටමින් භූගෝලීය වශයෙන් තවත් පුළුල් කිරීම කෙරෙහි බැංකුවේ අවධානය යොමුවී ඇත.

බැංකුවේ පාරිභෝගික බැංකුකරණ අංශය ද තවදුරටත් කැපීපෙනෙන ලෙස ඉහලට ගමන් කළ අතර එම අංශයේ තැන්පතු 4%ක වසරින් වසර වර්ධනයක් ද, CASA පදනම 16%ක වසරින් වසර වර්ධනයක් ද හිමිකර ගත්තේය. යුනියන් බැංකුවේ ගෝල්ඩ් සර්කල් සේවාව හඳුන්වා දීම පළමු කාර්තුව සිදුවූ වැදගත් සිදුවීමකි. ඉදිරිගාමී සහ උත්සාහවන්ත පුරවැසියන්ගේ සිහින බලගැන්වීමේ අරමුණින් යුතුව හඳුන්වා දෙන ලද යුනියන් බැංකු ගෝල්ඩ් සර්කල් වැඩසටහන තරුණ වෘත්තිකයන්ගේ සහ ව්‍යාපාර හිමිකරුවන්ගේ වෙනස්වන අවශ්‍යතාවලට සරිලන පරිදි වඩාත් නම්‍යශීලි සහ පහසු ඉතිරිකිරීමේ සහ ණය ලබාගැනීමේ විකල්ප රැසකින් සමන්විත වේ. එම වැඩසටහන සඳහා ම වෙන්වූ සබඳතා කළමනාකරුවන්ගේ පුද්ගලික සේවය සලසමින් යුනියන් බැංකුවේ ගෝල්ඩ් සර්කල් සේවාව ශීඝ්‍රයෙන් වෙනස්වන වෙළඳපල බැංකුකරණ අවශ්‍යතාවලට ඔබින සේවා පිරිනැමීම සඳහා බැංකුව දක්වන අඛණ්ඩ කැපවීම මැනවින් පිළිබිඹු කරයි.

සමාලෝචන කාලය තුළ බැංකුවේ ඉලක්කගත ක්‍රියාමාර්ග හේතුවෙන් පාරිභෝගික වත්කම් අංශය ද සුවිශේෂී වර්ධනයක් අත්පත් කර ගත්තේය. බැංකුවේ උකස් ණය ප්‍රමාණයේ 196%ක වසරින් වසර වර්ධනය ඊට සාක්ෂ්‍ය සපයයි. 2018 වසරේ ඔක්තෝබර් මාසයේදී ක්‍රෙඩිට් කාඩ්පත් හඳුන්වා දීමෙන් පසුව බැංකුවේ පාරිභෝගික බැංකුකරණ මෙහෙයුම් කටයුතු ක්‍රෙඩිට් කාඩ්පත් පදනම තවත් ශක්තිමත් කිරීමේ විශේෂ අවධානයකින් යොමු කෙරිණි. එම ඉලක්කය සපුරා ගැනීම සඳහා ඉන්ධන සහ සුපිරි වෙළඳසැල් මිලදී ගැනීම් සඳහා මුදල් ආපසු ලබාදීමේ සේවාව, විශේෂ අවුරුදු වට්ටම් සහ දීමනා, පොළී රහිත වාරික ගෙවීමේ ක්‍රමවේද, කාඩ්පත් ණය පහසුකම ඇතුළු අසමසම සේවා සහ සහ දීමනා රැසක් ද, නව පාරිභෝගිකයන් බඳවා ගැනීමටත් දැනට සම්බන්ධ වී සිටින පාරිභෝගිකයන්ගේ වියදම් යහපත් මට්ටමකට ගෙන ඒමටත් නවත ම වැඩසටහන් රැසක් ද හඳුන්වා දීමට යුනියන් බැංකුව කටයුතු කළේය.

අන්තර් බැංකු, ස්ථාවර ආදායම් සහ ආයතනික විකුණුම් යන අංශ විශේෂයෙන් ප්‍රාග්ධන සහ විනිමය ප්‍රතිලාභ සඳහා 2019 පළමු කාර්තුව තුළ අපේක්ෂිත මට්ටම ද ඉක්මවා කැපීපෙනෙන දායකත්වයක් ලබා දුන්නේය.

උපරිම ලෙස පිරිවැය කළමනාකරණය කරන අතරම වෙළඳපල ප්‍රවණතා සඳහා සේවා ගැලපීමට සම්පත් සහ ක්‍රියාවලි ප්‍රතිසංවිධාන කිරීමට බැංකුවේ මානව සම්පත් සහ මෙහෙයුම් ක්‍රියාවලි අඛණ්ඩව දායකත්වය ලබා දුන් අතර ඒ නිසාම පිරිවැයට ආදායම අනුපාතිකය ප්‍රශස්ත මට්ටමක පවත්වා ගැනීමට ද බැංකුවට හැකිවිය.

පාරිභෝගික සහ සුළු, කුඩා හා මධ්‍ය පරිමාණ අංශවල විශිෂ්ට හැකියා පෑ කාර්යමණ්ඩල සාමාජිකයන් ඇගයුමට ලක් කිරීම සඳහා යුනියන් බැංකුව මාර්තු මස 30 වනදා මරීනෝ බීච් හෝටලයේ දී ‘Race to Win’ තේමාව යටතේ සම්මාන උළෙලක් සංවිධානය කළේය. 2018 වසරේ දී බැංකුවේ හර බැංකුකරණ වර්ධනය සඳහා දැක්වූ කැපීපෙනෙන දායකත්වය සහ කැපවීම වෙනුවෙන් විශිෂ්ටත ම ශාඛාවට සහ කාර්යමණ්ඩල සාමාජිකයන්ට මෙහිදී සම්මාන පිරිනැමිණි.

යුනියන් බැංකුවේ 2018 වාර්ෂික වාර්තාව 2019 පෙබරවාරි මසදී ‘Building Strong Bonds’ තේමාව යටතේ ප්‍රකාශයට පත් කෙරිණි. වසර ගණනක පටන් පාර්ශ්වකරුවන් සමග ඇතිකර ගත් සවිමත් සබඳතා තවදුරටත් ශක්තිමත් කරන අතර ම, නොසැලෙන ප්‍රාග්ධන පදනම, පරිපූර්ණ නිෂ්පාදන පෙළ, බලගැන්වුණු කණ්ඩායම, තාක්ෂණික උපාය සහ සියලු පාර්ශ්වකරුවන් සඳහා තිරසාර වර්ධන අවස්ථා උදාකිරීමට අවශ්‍ය මෙහෙයුම් කාර්යක්ෂමතාව සමගින් ශ්‍රී ලංකාවේ ශීඝ්‍රයෙන් ම ව්‍යාප්තවන වාණිජ බැංකුව බවට පත්වීම සඳහා බැංකුව දරන කැපවීම එම තේමාව මගින් මනාව පිළිබිඹු විය.

තවද, කොටස්කරුවන්ගේ අනුමැතිය ඇතුළුව අදාළ සියලු නෛතික අනුමැතීන් සහ එකඟතා අනුව කොටසක් රු. 15 බැගින් සාමාන්‍ය කොටස් 7,875,798 ක උපරිමයකට යටත්ව කොටස්කරුවන්ගේ ප්‍රතිමිලදී ගැනීම සඳහා බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කර ඇති බව බැංකුව 2019 මාර්තු මස 27 වන දින නිවේදනය කළේය.

බැංකුවේ පළමු කාර්තුවේ කාර්යසාධනය පිළිබඳ අදහස් පළ කරමින් එම බැංකුවේ අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී ඉන්ද්‍රජිත් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ, හර බැංකුකරණ මෙහෙයුම් කටයුතුවල කැපීපෙනෙන වර්ධනයක් අත්කර ගැනීමට 2019 පළමු කාර්තුව තුළ යුනියන් බැංකුව සමත්වූ බවය. කෙසේවෙතත් අභියෝගාත්මක සාර්ව ආර්ථික පාරිසරික තත්ත්වය බැංකුවේ ඉදිරි ගමන සඳහා බලපෑමක් ඇති කරනු ඇති බව ද ඒ මහතා ප්‍රකාශ කළේය. “හඳුනාගත් ප්‍රධාන ක්‍රමෝපායික ව්‍යාපාර අංශ තුළ ව්‍යාපාරික වර්ධනය සඳහා අප ඉලක්කගත ප්‍රවේශයකින් යුතුව කටයුතු කරනවා. ප්‍රාග්ධන උපයෝජනය උපරිම මට්ටමින් පවත්වා ගනිමින් කොටස්කරුවන්ගේ ප්‍රතිලාභ පුළුල් කිරීම සඳහා ප්‍රතිග්‍රහණය ඇතුළු වර්ධනීය ක්‍රමෝපායික සැලසුම් දියත් කිරීමට ද අප සැලසුම් කර තිබෙනවා”

-අවසන්-

බැංකු

  • Amana Bank PLC
  • Bank of Ceylon
  • Cargills Bank Ltd
  • Citibank
  • Commercial Bank of Ceylon PLC
  • DFCC Bank
  • Hatton National Bank PLC
  • HDFC Bank
  • HSBC Ltd
  • National Development Bank PLC
  • Nations Trust Bank
  • Pan Asia Banking Corporation
  • People’s Bank
  • Public Bank Berhard
  • Sampath Bank PLC
  • Seylan Bank PLC
  • Standard Chartered Bank

ආයතන

  • Merchant Bank of Sri Lanka Finance
  • Central Finance PLC
  • Commercial Leasing and Finance PLC
  • HNB Finance
  • LB Finance PLC
  • People’s Leasing and Finance PLC
  • Softlogic Finance Plc
  • Singer Finance (Lanka) PLC