යුනියන් බැංකුව ස්ථාවර කාර්යසාධනයක් සමගින් 2021 පළමු අර්ධය නිමා කරයි

යුනියන් බැංකුව 2020 වසරේදී ඇති වූ ආර්ථික අභියෝග හමුවේ වුව ද සිය වර්ධනය සඳහා ක්‍රමෝපායික සැලසුම් ප්‍රතිසැකසුම්කර කැපී පෙනෙන ආදායම් වර්ධනයක් සමගින් 2021 වසරේ පළමු කාර්තුව තුළ ශක්තිමත් කාර්යසාධනයක් අත්කර ගැනීමට සමත් විය. කෙසේවෙතත්, 2021 වසරේ අප්‍රේල් මසදී කොරෝනා වෛරසයේ තුන්වන රැල්ලේ බලපෑම හේතුවෙන් එහි ව්‍යාපාරික වර්ධන ගමන සීමා විය. එම අභියෝග මධ්‍යයේ වුව ද යුනියන් බැංකුව 2021 දෙවන කාර්තුව තුළදී ද ස්ථාවර කාර්යසාධනයක් අත්කර ගනිමින් පළමු අර්ධය ශක්තිමත් බැංකුකරණ කාර්යසාධනයක් සමගින් අවසන් කළේය.

වසංගත තත්ත්වය හේතුවෙන් පනවන ලද සංචරණ සීමා ආදී ක්‍රියාමාර්ග මත බැංකුකරණ අංශයේ ක්‍රියාකාරකම් දෙවන කාර්තුව තුළ අභියෝගයට ලක්වූ අතර යුනියන් බැංකුව සිය සේවා සීමා කිරීමෙන් තොරව පවත්වාගෙන යාම සහ ඉලක්කගත පියවර හේතුවෙන් දෙවන කාර්තුව තුළ මෙම ස්ථාවර කාර්යසාධනය අත්කර ගැනීමට සමත් විය. වසංගතයේ තුන්වන රැල්ලේ බලපෑමට ලක්වූ පාරිභෝගික ජනතාව වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව හඳුන්වා දෙන ලද නව ණය සහන යෝජනා ක්‍රමය හේතුවෙන් යුනියන් බැංකුවේ AWPLR අගය පහත වැටිණ. 2021 මැයි මසදී නිර්දේශ කෙරුණු එම ණය සහන යෝජනා ක්‍රමය යුනියන් බැංකුව විසින් කඩිනමින් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන ලද අතර වසංගතයේ බලපෑමට ලක්වූ පාරිභෝගිකයින් හට 2021 අගෝස්තු මස 31 වනදා දක්වා මූලික මුදල සහ/හෝ පොළී ගෙවීම් සඳහා කාලය දීර්ඝ කිරීමට කටයුතු කෙරිණි. තුන්වන රැල්ලේ බලපෑමට ලක්වූ පාරිභෝගික, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සහ ආයතනික අංශ සඳහා ද සහන පිරිනැමුණු අතර ප්‍රමාද ගාස්තු ඉවත් කිරීම, මුදල් ගෙවීම් කළ යුතු දින දීර්ඝ කිරීම සහ ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන් සඳහා නම්‍යශීලි ගෙවීම් ක්‍රම හඳුන්වා දීම ද එම සහන අතර වෙයි.

ඉහත අභියෝග හමුවේ වුව ද 2021 පළමු අර්ධය සඳහා යුනියන් බැංකුවේ දළ පොළී අනුපාතය රු. මිලියන 2,103 ක් ලෙස වාර්තා වූ අතර එය 4% ක වසරින් වසර වර්ධනයකි. 2021 ජුනි මස 30 වනදායින් අවසන් වූ පළමු අර්ධය තුළ බැංකුවේ දළ පොළී ආන්තිකය 3.44% ක් වූ අතර එය පසුගිය වසරේ පළමු අර්ධයේදී 3.23% ක් ලෙස වාර්තා විය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ නිර්දේශ මත වසංගතයේ බලපෑමට ලක්වූ පාරිභෝගිකයින් වෙනුවෙන් 2021 අගෝස්තු මාසය දක්වා ප්‍රමාද ගාස්තු සහ වෙනත් ගාස්තු ඉවත් කිරීමට කටයුතු කෙරිණි. ආර්ථික සහ ආනයන කටයුතුවල සිදු වූ පසුබෑම ද බැංකුවේ ගාස්තු ආදායමට බලපෑවේය. කෙසේවෙතත්, දළ ගාස්තු සහ කොමිස් ආදායම 42% ක වසරින් වසර වර්ධනයක් අත්කර ගැනීමට සමත් විය. 2020 වසරේදී පිරිනැමූ Covid-19 සහන යෝජනා ක්‍රමයේ බලපෑම ද මෙම ගාස්තු ආදායමේ කැපීපෙනෙන වර්ධනය මගින් නිරූපණයවන අතර එමගින් පසුගිය වසරේ අදාළ කාල පරිච්ඡේදය තුළ බැංකුවේ ආදායමට බලපෑමක් ඇති විය.

2021 පළමු අර්ධය තුළ බැංකුවේ සමස්ත වෙනත් ආදායම රු. මිලියන 527 ක් වූ අතර එය 18% ක වසරින් වසර අඩු වීමකි. බැංකුවේ කොටස් ආදායම ඇතුළු ආයෝජන රු. මිලියන 310 ක් දක්වා 43% කින් අඩු වීම ඊට ප්‍රධානත ම හේතුවයි. කෙසේවෙතත්, විදේශ විනිමය ආදායම 117% ක වසරින් වසර වර්ධනයක් අත්කර ගත්තේය. 8% කින් විදේශ විනිමය අනුපාතය අවධමනය වීම සහ අදාළ කාලය තුළ විදේශ විනිමය අනුපාතයේ උච්ඡාවචන ඊට ප්‍රධාන වශයෙන් බලපෑවේය.
බාහිර අභියෝග මධ්‍යයේ වුව ද 2021 ජුනි මස 30 වනදායින් අවසන් වූ පළමු අර්ධය තුළ යුනියන් බැංකුවේ මෙහෙයුම් ආදායම රු. මිලියන 3,036 ක් ලෙස වාර්තා වූ අතර එය පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව 3% ක වර්ධනයකි. බැංකුවේ සමස්ථ මෙහෙයුම් අංශ තුළ දූරදර්ශී ලෙස පිරිවැය කළමනාකරණය කිරීම සඳහා අඛණ්ඩව පියවර ගැනීම හේතුවෙන් මෙහෙයුම් වියදම්වල 6% ක වසරින් වසර අඩුවීමක් අත්කර ගැනීමට හැකි වූ අතර එම අගය රු. මිලියන 1,809 කි. බැංකුවේ පූර්ව අපහායන ලාභය පළමු අර්ධයේදී රු. මිලියන 1,227 ක් වූ අතර එය 18% ක වසරින් වසර වර්ධනයකි.

අභියෝගාත්මක ආර්ථික වාතාවරණය හේතුවෙන් යුනියන් බැංකුව 2020 දෙසැම්බර් මසදී ක්‍රියාත්මක කළ උපකල්පන මත පදනම්ව අපහායන ආකෘති අඛණ්ඩව අනුගමනය කිරීමට කටයුතු කළේය. ඒ අනුව, කැපී පෙනෙන ණය අවදානමක් සහිත කර්මාන්තවලට සම්බන්ධ පාරිභෝගිකයින් ද බැංකුව අඛණ්ඩව අපහායන ගණනය කිරීම් සඳහා ඇතුළත්කර ගන්නා ලදි. තවද, දරුණුත ම සාර්ව ආර්ථික තත්ත්වය සඳහා යොමුකරන ලද ඉහළ අවධානය අඛණ්ඩව අපේක්ෂිත ණය අහිමිවීම් ගණනය සඳහා ද යොමු කෙරිණි. එබැවින්, බැංකුවේ සැබෑ ණය අහිමිවීම් ප්‍රමාණය අඩු මට්ටමක පැවතිය ද, දුර්වල ආර්ථික වාතාවරණය සඳහා අදාළ කාලය තුළ කැපීපෙනෙන ප්‍රතිපාදන ප්‍රමාණයක් වෙන් කිරීමට කටයුතු කෙරුණු අතර ඒ හේතුවෙන් පසුගිය වසරේ අදාළ කාලයට සාපේක්ෂව අපහායන ගාස්තුවල 55% ක වර්ධනයක් පෙන්නුම්කර ඇත.

බාහිර අභියෝගවලට සාර්ථකව මුහුණ දෙමින් යුනියන් බැංකුව සියලු බදුවලට පෙර මෙහෙයුම් ක්‍රියාකාරකම්වලින් ශක්තිමත් ප්‍රතිඵල අත්කර ගැනීමට සමත් වූ අතර රු. මිලියන 791 ක අතුරු ලාභයක් එමගින් හිමිකර ගැනීමට සමත් විය. එම අගය පසුගිය වසරේ අදාළ කාලයට සාපේක්ෂව 5% ක වර්ධනයකි. 2021 පළමු අර්ධය තුළ යුනියන් බැංකුවේ බදු පසු ලාභය 44% කින් වර්ධනය වූ අතර එම අගය රු. මිලියන 455 කි.

පළමු අර්ධය තුළ බැංකුවේ සමස්ත අක්‍රිය ණය අනුපාතය 5.83% ක් දක්වා අඩු වූ අතර 2020 දෙසැම්බර් මාසයේදී එය 6.05% ක් ලෙස වාර්තා විය.

ජුනි මස 30 වනදා වන විට බැංකුවේ සමස්ත වත්කම් ප්‍රමාණය රු. මිලියන 121,244 ක් ලෙස වාර්තා විය. බැංකුවේ ණය සහ ලැබීම් රු. මිලියන 70,656 ක් ලෙස වාර්තා වූ අතර එය වසරේ සිට අද දක්වා 5% ක වර්ධනයකි. තවද, රු.මිලියන 85,132 ක් වූ තැන්පතු පදනම වසරේ සිට මේ දක්වා 3% ක වර්ධනයකි. 2021 ජනවාරි සිට ජුනි දක්වා CASA සාමාන්‍යය පසුගිය වසරේ පළමු අර්ධයට සාපේක්ෂව 11% කින් වර්ධනය විය. පැවති සංචරණ සීමා සහ බාධක හමුවේ වුව ද බැංකුව පාරිභෝගික, ආයතනික සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශ හරහා සිදු කළ ඉලක්කගත අත්කර ගැනීමේ ක්‍රමෝපාය හේතුවෙන් සවිමත් CASA අගයක් හිමිකර ගැනීමට හැකි විය. වාර්තාකරණ කාලය අවසානවන විට බැංකුවේ CASA අනුපාතය 28.5% කි.

අඛණ්ඩව ශක්තිමත් ප්‍රාග්ධන ප්‍රමාණාත්මතා අනුපාතයක් පවත්වා ගැනීමට සමත් වූ යුනියන් බැංකුව වාර්තාකරණ දිනයවන විට 15.88% ක ප්‍රාග්ධන ප්‍රමාණාත්මතා අනුපාතයකට හිමිකම් කීවේය.

බැංකුවේ අනු සමාගම්වන UB Finance සහ NAMAL යන සමාගම් ද බාහිර ආර්ථික වාතාවරණයේ බලපෑමට ලක් වූ අතර බැංකුවත් එම සමාගම් ද්විත්වයෙනුත් සමන්විත සමූහයේ සියලු බදු පෙර ලාභය 2021 පළමු අර්ධයේදී රු. මිලියන 938 ක් ලෙස වාර්තා විය. සමූහයේ බදු පසු ලාභය පසුගිය වසරේ අදාළ කාලය සමග සැසඳීමේදී 43% ක වර්ධනයක් අත්කර ගත්තේය. රු. මිලියන 127,361 ක් වන සමූහයේ සමස්ත වත්කම් ප්‍රමාණයෙන් 95% ක් බැංකුවේ වත්කම් නියෝජනය කරයි. වාර්තාකරණ දිනයවන විට සමූහය 16.49% ක ශක්තිමත් සමස්ත ප්‍රාග්ධන අනුපාතයක් පවත්වාගැනීමට සමත්ව සිටියේය.

ශක්තිමත් ද්‍රවශීලතාවක් සහ අඛණ්ඩව මෙහෙයුම් පවත්වා ගන්නා අතරම කාර්යමණ්ඩල සාමාජිකයන්ගේත්, පාරිභෝගිකයින්ගේත් සුරක්ෂිතතාව තහවුරු කිරීම වසරේ දෙවන කාර්තුවේදී ද කළමනාකාරිත්වයේ ප්‍රමුඛතාව විය. පාරිභෝගික, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සහ ආයතනික පාරිභෝගිකයින්ට විශේෂිත අභියෝග හඳුනා ගනිමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ සහන යෝජනා ක්‍රමය කාර්යක්ෂම ලෙස ක්‍රියාත්මක කිරීම ඇතුළු අවශ්‍ය බැංකුකරණ සහයෝගය ලබාදීම සඳහා බැංකුව සිය ශාඛා සහ සබඳතා කළමනාකරුවන් හරහා එම පාරිභෝගික කාණ්ඩ සමග අඛණ්ඩව සමීපව කටයුතු කළේය.

ඩිජිටල් බැංකුකරණය සහ සිය ඩිජිටල් සේවාවල ශක්තිය පුළුල් කරමින් අදාළ කාලය තුළ යුනියන් බැංකුව ජංගම බැංකුකරණ යෙදවුම තවදුරටත් වැඩිදියුණු කරමින් ‘UBgo” ලෙස යළි ජනගත කිරීමට කටයුතු කළ අතර සිය පාරිභෝගිකයින් සඳහා බාධාවකින් තොර ගෙවීම් අත්දැකීමක් හිමිකර දීම සඳහා Lanka QR සමග සම්බන්ධ වීමට කටයුතු කළේය. යුනියන් බැංකුවේ ජංගම යෙදවුම Lanka QR සේවාව සමග සම්බන්ධ කිරීම මගින් පාරිභෝගිකයින් හට යුනියන් බැංකු ගිණුම් හරහා සෘජුව කඩිනමින් සහ ආරක්ෂිතව මුදල් රහිත ගනුදෙනු සිදු කිරීමේ අවස්ථාව උදා විය. එය, අනාගතයේදී එම යෙදවුම ප්‍රධානත ම බැංකුකරණ පදනමක් බවට පත් කිරීම සඳහා බැංකුව සිදුකරන ආයෝජනවල තවත් එක් පියවරකි. තාක්ෂණයෙන් සන්නද්ධ බැංකුකරණ පහසුව පුළුල් කිරීම සඳහා අඛණ්ඩව කැපවන යුනියන් බැංකුව ඕනෑම ආකාරයේ ජංගම දුරකථනයකින් පුළුල් බැංකුකරණ පහසුකමක් ලබා ගැනීමේ අවස්ථාව පාරිභෝගිකයින් හට උදා කරමින් ජුනි මසදී Missed Call බැංකුකරණ සේවාව හඳුන්වා දීමට ද කටයුතු කළේය. කෙටි පණිවිඩ සේවාවක්වන එය, ජංගම දුරකථනය හරහා පාරිභෝගිකයින් හට වඩාත් කඩිනමින් සහ ආරක්ෂිතව සිය ගිණුම් ශේෂ ලබා ගැනීමේ හැකියාව හිමිකර දෙන පහසු සේවාවකි.

තුන්වන රැල්ල ඇති වූ අවස්ථාවේ දී අත්‍යවශ්‍ය සේවාවක් ලෙස ක්‍රියාත්මකවන අතර ම පාරිභෝගිකයින්ගේත්, කාර්යමණ්ඩල සාමාජිකයින්ගේත් ආරක්ෂාව වෙනුවෙන් ක්‍රියාත්මක කළ පරිපූර්ණ සෞඛ්‍ය ආරක්ෂණ වැඩපිළිවෙල අඛණ්ඩව පවත්වා ගැනීමට බැංකුව කටයුතු කළේය. ශාඛා ජාලය සහ ප්‍රධාන ශාඛාව පුරාම දැඩි සනීපාරක්ෂක සහ ආරක්ෂණ ක්‍රමවේද ක්‍රියාත්මක කෙරුණු අතර කාර්යමණ්ඩල සාමාජිකයන් සමාජය සමග ගැටීම අවම කිරීම සඳහා හඳුනාගත් පිරිස්වලට නිවසේ සිට රාජකාරි කටයුතු කිරීමට ද අවසර ලබා දුනි. සංචරණ සීමා මධ්‍යයේ වුව ද අත්‍යවශ්‍ය සේවා සඳහා ක්‍රමෝපායිකව හඳුනා ගත් ශාඛා කිහිපයක් විවෘත තැබුණු අතර පාරිභෝගිකයින් හට ආරක්ෂිතව බැංකු කටයුතු ඉටුකර දීම සඳහා යුනියන් බැංකුවේ ATM ජාලයත්, අන්තර්ජාල/ජංගම බැංකුකරණ සේවාත්, පැය 24 පුරා ක්‍රියාත්මක ඇමතුම් මධ්‍යස්ථානයත් අඛණ්ඩව ක්‍රියාත්මක විය.

යුනියන් බැංකුවේ 2021 පළමු අර්ධයේ කාර්යසාධනය පිළිබඳ අදහස් දක්වමින් එම බැංකුවේ අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී ඉන්ද්‍රජිත් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ, “එක්වරම රට තුළ පැන නැගුනු තුන්වන රැල්ල 2021 දෙවන කාර්තුවේ වර්ධන ගමනට බලපෑමක් වුණා. තුන්වන රැල්ල ඇති වීමත් සමග, පාරිභෝගිකයින් හට දිගින්-දිගටම අත්විඳීමට සිදු වූ මුල්‍ය පීඩනයෙන් මිදීමට ඔවුන්ට සහයෝගය ලබා දීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ නිර්දේශිත ණය සහන ක්‍රියාත්මක කිරීමට යළිත් අපගේ ප්‍රමුඛතා සකස්කර ගැනීමට අපට සිදු වුනා. මෙම අභියෝගාත්මක කාලය තුළ බැංකුවේ පහළ අන්තය කළමනාකරණය කරන අතරම තම ද්‍රවශීලතා මට්ටමත්, ප්‍රාග්ධන ප්‍රමාණාත්මතා අගයත් ශක්තිමත්ව පවත්වා ගනිමින් අපගේ තිරසර ව්‍යාපාරික ක්‍රමෝපායේ අංගයක් ලෙස පාරිභෝගිකයින්ගේ සහ කාර්යමණ්ඩල සාමාජිකයින්ගේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරීමටත් බැංකුව සැලකිලිමත් වුණා. වසරේ ඉදිරි කාලය තුළ ද අපගේ කාර්යමණ්ඩල සාමාජිකයන්ගේත්, පාරිභෝගිකයින්ගේත් සෞඛ්‍ය ආරක්ෂාව උපරිම අයුරින් ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය පියවර ගනිමින් පාරිභෝගික, ආයතනික සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශ සඳහා අත්‍යවශ්‍ය මුල්‍ය සහයෝගය අඛණ්ඩව පිරිනැමීමට අප කටයුතු කරනවා,” යනුවෙනි.

බැංකු

  • Amana Bank PLC
  • Bank of Ceylon
  • Cargills Bank Ltd
  • Citibank
  • Commercial Bank of Ceylon PLC
  • DFCC Bank
  • Hatton National Bank PLC
  • HDFC Bank
  • HSBC Ltd
  • National Development Bank PLC
  • Nations Trust Bank
  • Pan Asia Banking Corporation
  • People’s Bank
  • Public Bank Berhard
  • Sampath Bank PLC
  • Seylan Bank PLC
  • Standard Chartered Bank

ආයතන

  • Merchant Bank of Sri Lanka Finance
  • Central Finance PLC
  • Commercial Leasing and Finance PLC
  • HNB Finance
  • LB Finance PLC
  • People’s Leasing and Finance PLC
  • Softlogic Finance Plc
  • Singer Finance (Lanka) PLC