ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවක් ඇතිකරගැනීමෙන් පසුව පවා ශ්‍රී ලංකාවේ බැංකු ක්ෂේත්රයට 2022 වසරේ තුන්වැනි කාර්තුවේදීද දිගින් දිගටම අභියෝග වලට මුහුණ දීමට සිදු විය. ඉන්ධන ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනය කිරීමට ඉක්මන් සහනයක් ලබා ගැනීම සඳහා ආර්ථිකය තවදුරටත් බැංකු ක්ෂේත්රයේ සහය බලාපොරොත්තු විය. රුපියල අවප්‍රමාණය වීම, විදේශ විනිමය හිඟය, පොලී අනුපාත වැඩිවීම සහ ආනයන තාවකාලික තහනම් කිරීම හේතුවෙන් ආනයනය අඩු වීම ආදිය නිසා බැංකුවල ප්‍රගතිය සහ ණය වර්ධනයට දිගින් දිගටම බලපෑම් එල්ල විය.
මෙම පසුබිම තුළ යූනියන් බැංකුව ස්ථාවර මූලික බැංකුකරණ ක්රියාකාරීත්වයක් වාර්තා කරගත් අතර, විචක්ෂණ අවදානම් ප්‍රවේශයක් තුළින් ණය අය කරගැනීම් කළමනාකරණය සහ තෝරාගත් ව්‍යාපාරික අවස්ථා හඹා යාමත් සමඟ, ගනුදෙනුකරුවන්ට සහ ව්‍යාපාර සඳහා අභියෝග හමුවේ ශක්තිමත්ව ඉදිරියට යාමට අත්වැලක් විය.
මූලික බැංකුකරණ ක්‍රියාකාරීත්වය සහ ලාභදායීත්වය
අභියෝග හා දුෂ්කරතා පිරුණු මෙහෙයුම් වාතාවරණයට ශක්තිමත් ලෙස මුහුණ දෙමින්, යූනියන් බැංකුව තම මූලික බැංකුකරණ ක්‍රියාකාරීත්වය මෙම කර්තුවේද ඉහළ නංවා ගැනීමට සමත් වී තිබේ. තුන්වැනි කාර්තුවේ සමස්ත ආදායම රු. මිලියන 5,343 ක් වූ අතර, එය පසුගිය වර්ෂයේ අදාළ කාලසීමාවට සාපේක්ෂව 109% ක වර්ධනයකි. 2022 සැප්තැම්බර් 30 දිනයෙන් අවසන් වූ මාස 9 ක කාලය තුළ බැංකුවේ සමස්ත ආදායම 55% කින් වර්ධනය වී, රු. මිලියන 12,769 ක් ලෙස වාර්තා වී තිබේ.
ණය එකතුව සහ භාණ්ඩාගාර වත්කම් ප්‍රතිමිල කිරීම හේතුවෙන් ශුද්ධ පොලී ආදායම 58% කින් වර්ධනය වී ඇත. පොලී වියදම් විචක්ෂණශීලී ලෙස කළමනාකරණය කිරීම නිසා ශුද්ධ පොලී ආන්තිකය 83 bps ප්‍රමාණයකින් වැඩි විය.
දේශීය හා ජාත්‍යන්තර මුදල් හුවමාරු කිරීම්, ATM ගනුදෙනු, ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඩ්පත්, ප්‍රේෂණ, සහ ආනයන අපනයන කටයුතු ආදිය වැඩි වීම හේතුවෙන් ශුද්ධ ගාස්තු සහ කොමිස් ආදායම 53% කින් වර්ධනය වී ඇත. විදේශ විනිමය හුවමාරු අදායම් සහ ඉපැයුම් හේතුවෙන් වෙනත් මෙහෙයුම් අදායම 23% කින් වර්ධනය වී තිබේ.
අපහායන ගාස්තු සඳහා ප්‍රතිපාදන වෙන් කිරීමට පෙර 3 වන කාර්තුවේ මෙහෙයුම් ආදායම රු. මිලියන 1,977 ක් වූ අතර, එය 45% ක වර්ධනයකි.
ණය ලබාගත් පාර්ශව වලට දිගින් දිගටම මුහුණ දීමට සිදු වූ පීඩනයන් නිසා ණය මුදල් අයකර ගැනීම සම්බන්ධයෙන් අඛණ්ඩව අභියෝග මතු වූ හෙයින් බැංකුව දිගින් දිගටම අපහායන සහ කළමනාකරණ ආවරණ කිරීම් සඳහා ප්‍රතිපාදන වෙන්කිරීමට කටයුතු කළේ ය. 3 වන කාර්තුව තුළ බැංකුවේ අපහායන ගාස්තු රු. මිලියන 591 ක් වූ අතර එය පෙර වසරේ අදාළ කාලසීමාවට සාපේක්ෂව 324% ක ඉහළ යාමකි.
වියදම් කළමනාකරණය සම්බන්ධයෙන් විචක්ෂණශීලී පියවර ගනු ලැබූවද, අදාළ කාලසීමාව තුළ බැංකුවේ මෙහෙයුම් වියදම්, පෙර වසරට සාපේක්ෂව 18% කින් වැඩි වී, රු. මිලියන 1,088 ක් ලෙස වාර්තා වී ඇත. රුපියලේ අගය අවප්‍රමාණය වීම සහ උපයෝගීතා සේවා ගාස්තු ඉහළ යාම ආදිය මීට මූලික වශයෙන් බලපා තිබේ.
කාර්තුව සඳහා බැංකුවේ මෙහෙයුම් ක්‍රියාකාරකම්වල ආදායම රුපියල් මිලියන 298 ක් වූ අතර, අනුබද්ධ සමාගම් වල හිමිකාරීත්ව කොටස් ද ඇතුළත්ව, බැංකුවේ තුන්වන කාර්තුවේ බදු පෙර ලාභය රු. මිලියන 93 ක් සහ බදු පසු ලාභය රු. මිලියන 74 ක් ලෙස වාර්තා වී ඇත. 2022 සැප්තැම්බර් 30 න් අවසන් වූ මාස 9 සඳහා බැංකුවේ මෙහෙයුම් ක්‍රියාකාරකම්වල ප්‍රතිඵලය රු. මිලියන 852 ක් වූ අතර බදු පෙර ලාභය රු. මිලියන 397 ක් සහ බදු පසු ලාභය රු. මිලියන 227 ක් විය.
2022 සැප්තැම්බර් 30 දින වනවිට, බැංකුවේ සමස්ත වත්කම් ප්‍රමාණය රු. මිලියන 136,715 දක්වා, 15% කින් වර්ධනය වී ඇත. ණය සහ අත්තිකාරම් රු. මිලියන 75,148 දක්වා 11% කින් වර්ධනය වූ අතර, සියලු පාරිභෝගික කාණ්ඩ වල ජංගම ගිණුම් හා ඉතුරුම් ගිණුම් විවෘත කිරීම දිරිගැන්වීමට පියවර ගැනීම නිසා පාරිභෝගික තැන්පතු රු. මිලියන 93,876 දක්වා, එනම් 13% කින් වර්ධනය වී තිබේ. 2022 සැප්තැම්බර් 30 වන විට ජංගම ගිණුම් සහ ඉතුරුම් ගිණුම් අනුපාතය 23.7% ක් වූ අතර, බැංකුවේ තුන්වන මට්ටමේ ණය අනුපාතය 7.29% ක් ලෙස පැවතිණි.
මෙම කර්තුවේද බැංකුව, නියාමන අවශ්‍යතා වලට වඩා පැහැදිලිවම ඉහළින් පවතින යහපත් ප්‍රාග්ධන ප්රමාණතා මට්ටමක් පවත්වා ගත්තෙමු. 2022 සැප්තැම්බර් 30 වනවිට බැංකුවේ සමස්ත ප්‍රාග්ධන අනුපාතය 17.02% ක් විය. මෙහෙයුම් වාතාවරණයේ පවතින ආතතීන් නිසා, 2022 සැප්තැම්බර් මාසයේදී Fitch විසින් බැංකුවේ ණය ශ්‍රේණිය BBB-(lka) with a Negative Rating Watch ලෙස නැවත තහවුරු කරන ලදි.
මෙම විශ්ලේෂණයට අදාළ කාර්තුව සඳහා, UB Finance Company Ltd. සහ National Asset Management Ltd. යන සමාගම් වලින් සමන්විත යූනියන් බෑන්ක් සමූහයේ බදු- පෙර ලාභය රු. මිලියන 130 ක් වූ අතර, 2022 සැප්තැම්බර් 30 දිනෙන් අවසන් වූ මාස 9 සඳහා බදු පෙර ලාභය රු. මිලියන 525 ක් විය. සමූහය තුළ බැංකුවේ හිමිකාරීත්ව ප්‍රතිශතය 95% ක් වන අතර, සමූහයේ සමස්ත වත්කම් වටිනාකම 16% කින් වර්ධනය වී, රු. මිලියන 143,910 ක් ලෙස වාර්තා වී තිබේ.
මෙහෙයුම් ක්‍රියාකාරීත්වය
පවත්නා ආර්ථික පසුබිම හමුවේ වුවද, තෝරාගත් අංශවල නව ව්‍යාපාරික අවස්ථා ප්‍රයෝජනයට ගැනීම සඳහා විශේෂයෙන් සකස් කළ මුල්‍ය විසඳුම් ලබාදීම කෙරෙහි ආයතනික බැංකු අංශය අවධානය යොමු කළේ ය. එමෙන්ම ණය කළඹ සහ ණය ගුණාත්මකභාවය විචක්ෂණශීලීව කළමනාකරණය කරන අතරම පවතින පාරිභෝගික සම්බන්ධතා ශක්තිමත් කරගැනීමට පියවර ගන්නා ලදි. වසරේ මේ දක්වා ආයතනික බැංකු ණය 32% කින්ද, තැන්පතු 29% කින්ද වර්ධනය වී තිබේ.
වෙළඳපොළවල් ධනාත්මක ප්‍රවණතාවක් පෙන්නුම් කිරීමත් සමග, ශ්‍රී ලංකා රුපියල් සහ විදේශ විනිමය/ඇමරිකානු ඩොලර් යන දෙ-අංශයෙන්ම බැංකුවේ ප්‍රධාන ද්‍රවශීලතා අවශ්‍යතා විචක්ෂණශීලීව කළමනාකරණය කිරීමට භාණ්ඩාගාරය කටයුතු කළ අතර, සමස්ත බැංකු මෙහෙයුම් වල ස්ථාවරත්වය අඛණ්ඩව පවත්වා ගැනීමට සහාය වීම සමඟ රජයේ ණය සුරැකුම්පත් එකතුවද කළමණාකරණය කරන ලදී. සැප්තැම්බර් මාසයේ වාර්තාගත නැව්ගත කිරීම් ප්‍රමාණයක් සමගින් බැංකුවේ බැංකු නෝට්ටු මෙහෙයුම් කටයුතු, මෙතෙක් වාර්තා වූ ඉහළම මුදල් නැවත මාරු කිරීම් මට්ටම මෙම කාර්තුව තුළ වාර්තා කළේය. කාලෝචිත ලෙස රජයේ ණය සුරැකුම්පත් ප්‍රතිමිල කිරීම, බැංකුවට එහි ශුද්ධ පොලී ආදායම් තත්ත්වය ශක්තිමත් කිරීමට උපකාරී විය. දේශීය බැංකු මුහුණ දෙන ඇමරිකානු ඩොලර් සම්බන්ධ ද්‍රවශීලතා ගැටලු සුළු වශයෙන් ලිහිල් වීමත් සමග බැංකුව සිය විදේශ මුදල් ප්රවාහයන් ඵලදායී ලෙස කළමනාකරණය කිරීමට කටයුතු කළේ ය. පවතින ආර්ථික පසුබිම තුළ බැංකුවේ අවදානම් අභිරුචිය අනුව, ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර කිසිවක් බැංකුව සතුව නොමැති අතර, බැංකුව සතු ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කරද ද්‍රවශීලතාවය සඳහා ශ්‍රී ලංකා රුපියල් නම්‍යශීලීභාවයක් සහිත කෙටි කාලීන කල්පිරීමක් සහිත බැඳුම්කර වේ.
පොලී අනුපාත සංශෝධනයන්ට සමගාමීව නව පාරිභෝගික සම්බන්ධතා නිර්මාණය කරගනිමින්, කාලීන තැන්පතු හරහා තම තැන්පතු පදනම පුළුල් කරගැනීමට පාරිභෝගික බැංකුකරණ අංශය කටයුතු කළ අතර, ඒ ඔස්සේ තැන්පතු වල 8% ක වර්ධනයක් සමග 26% ක ජංගම ගිණුම් සහ ඉතුරුම් ගිණුම් අනුපාතයක් වාර්තා කරගැනීමට එම අංශය සමත් විය. යූනියන් බැංකුවේ ක්‍රෙඩිට් කාඩ්පත් ඔස්සේ ගනුදෙනුකරුවන් වෙනුවෙන් ශේෂය මාරු කිරීමේ පහසුකම්, පොලී රහිත පහසු ගෙවීමේ ක්‍රම, කාඩ්පත් සැලසුම් මත ණය පහසුකම් සහ විද්‍යුත් වාණිජ සේවා වෙබ් අඩවි වලදී කාඩ්පත් හිමියන්ට විශේෂ දීමනා ලබා දීම ආදිය කෙරෙහි අවධානය යොමු විය. අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සහ උපයෝගිතා සේවා බිල්පත් ගෙවීම් සඳහා වට්ටම් සහ දීමනා පිරිනමන ලද අතර, දූරදර්ශී ලෙස ගෙවීම් සහ එකතු කිරීම් කළමනාකරණය කරන ලදී. බැංකුවේ ඩිජිටල් සේවාවන්, ගනුදෙනුකරුවන්ට අඛණ්ඩව බැංකු සේවාවන් ලබාගැනීමේ පහසුව සැලසුම් කරන ලදි.
පෞද්ගලික අංශයේ ණය වර්ධනය සහ ණය ලබාදීමේ අවස්ථාවන් සීමා වීම නිසා, මෙම කාර්තුව තුළ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර අංශයේ අවධානය ප්‍රධාන වශයෙන්, ණය සේවා එකතුව සහ ණය නැවත අයකර ගැනීම් ප්‍රවේශම්සහගත ලෙස කළමනාකරණය කිරීම මෙන්ම, දැනටමත් බැංකුවේ ගනුදෙනුකරුවන් හට ලබාදී ඇති ණය පහසුකම් පුළුල් කිරීම සහ ඔවුන්ට තම ව්‍යාපාර අඛණ්ඩව පවත්වාගෙන යාම/ පුනර්ජීවනය සඳහා අත්වැලක් වීම කෙරෙහි යොමු විය. බැංකුවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර තැන්පතු 10% කින් වර්ධනය වී තිබේ. 2022 වර්ෂයේද ආසියානු සංවර්ධන බැංකුව (ADB) සමග එක්වී විශේෂ ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාවට නැංවීමට හැකිවීම බැංකුවේ ණය දීමේ වැඩසටහන් වලට විශාල පිටිවහලක් විය. යූනියන් බැංකුවේ සම්මාන දිනූ මුදල් කළමනාකරණ විසඳුම වන BizDirect, තවදුරටත් ජංගම හා ඉතුරුම් ගිණුම් විවෘත කිරීම සහ නව ගනුදෙනුකරුවන් ආකර්ෂණය කරගැනීමට පිටිවහලක් විය.
LMD සඟරාවේ සංකල්පයක් අනුව Nielsen IQ මගින් පවත්වනු ලබන සමීක්ෂණයක ප්‍රතිඵල පදනම් කරගෙන සිදුකරන ලද ශ්‍රේණිගත කිරීමකදී යූනියන් බැංකුව 2022 වසරේ මෙරට වඩාත්ම ගෞරවය දිනූ සමාගම් හා ආයතන අතරට නම්කෙරිණි. අඛණ්ඩව තම කාර්ය මණ්ඩලයේ යහපත වෙනුවෙන් බැංකුව මෙම වසරේද වැඩසටහන් රාශියක් ක්‍රියාවට නංවා ඇත. මේ අතරින් මෑතකදී පැවැත්වූ ඩිජිටල් තාක්ෂණය මූලික කරගත් ‘Walk & Win’ ශරීර සුවතා අභියෝගතා වැඩසටහනටද බැංකුවේ කාර්ය මණ්ඩලය ඉමහත් උනන්දුවකින් යුතුව සහභාගී වූහ.


