බැංකුව:
- දළ ආදායම රු. මිලියන 18,966 දක්වා 73% කින් ඉහළට
- ශුද්ධ පොලී ආදායම රු. මිලියන 5,814 දක්වා 36.6% කින් ඉහළට
- ශුද්ධ ගාස්තු සහ කොමිස් ආදායම රු. මිලියන 1,143 දක්වා 32.8% කින් ඉහළට
- ශුද්ධ පොලී ආන්තිකය 116bps මට්ටමකින් ඉහළට
- සියලු බදුවලට පෙර සමස්ත මෙහෙයුම් ලාභය රු. මිලියන 925 ක්
- බදු-පසු ලාභය රු. මිලියන 314 ක්
- වත්කම්වල මුළු වටිනාකම රු. මිලියන 129,483 ක්
- සමස්ත ප්‍රාග්ධන සප්‍රමාණතා අනුපාතය 18.26% ක්
සමූහය
- සියලු බදුවලට පෙර සමස්ත මෙහෙයුම් ලාභය රු. මිලියන 991 ක්
යූනියන් බැංකුව 2022 මූල්‍ය වර්ෂයේ අභියෝගවලට සාර්ථක ලෙස මුහුණ දෙමින්, නැවතත් ශක්තිමත් මූල්‍ය ප්‍රතිඵල වාර්තා කිරීමට සමත් වී ඇත. තම ශක්තිමත් ප්‍රාග්ධන පදනමින් පන්නරය ලබමින්, වෙනස් වන තත්ත්වයන්ට නොපමාව අනුගත වෙමින්, සමස්ත ආදායමේ වර්ධනයක් වාර්තා කරගැනීමටත්, ඒ ඔස්සේ වර්ෂයේ ප්‍රධාන බැංකුකරණ කාර්යසාධන අගයන්හි පැහැදිලි ප්‍රගතියක් පෙන්නුම් කිරීමටත් බැංකුව සමත් වී ඇත. නව ව්‍යාපාරික අවස්ථා සුපරීක්ෂාකාරී ලෙස තෝරාගනිමින්, දැඩි අවදානම් සහ ප්‍රතිසාධන රාමුවක් තුළ තම ව්‍යාපාර කටයුතු කළමනාකරණය කිරීම නිසා, මෙම විශ්ලේෂණයට අදාළ වර්ෂය සඳහා බැංකුවේ දළ ආදායම 73% ක් වැනි සැලකිය යුතු මට්ටමකින්, එනම් රුපියල් මිලියන 18,966 දක්වා වර්ධනය විය.
ණය සේවාවන් එකතුව සහ භාණ්ඩාගාර වත්කම් නැවත මිලකිරීම නිසා ශුද්ධ පොලී ආදායම රු. මිලියන 5,814 දක්වා 36.6% කින් වර්ධනය වී තිබේ. පොලී වියදම් සුපරීක්ෂාකාරී ලෙස කළමනාකරණය කිරීම නිසා, ශුද්ධ පොලී ආන්තිකය 116bps මට්ටමකින් ඉහළ ගොස් ඇත. ජාත්‍යන්තර වෙළඳාම්, ප්‍රේෂණ, සහ ක්‍රෙඩිට් හා ඩෙබිට් කාඩ්පත් සම්බන්ධ ක්‍රියාකාරකම් වර්ධනය වීම නිසා, ශුද්ධ ගාස්තු සහ කොමිස් ආදායම 32.8% කින් වර්ධනය වී රු. මිලියන 1,143 ක් ලෙස වාර්තා වී තිබේ. විදේශ විනිමය හුවමාරු ආදායම සහ ඉපැයුම් නිසා වෙනත් මෙහෙයුම් ආදායමද 121% කින් ඉහළ ගොස් ඇත.
සාර්ව ආර්ථික තත්ත්වයන් නිසා ඇති වූ දුෂ්කරතා මෙන්ම ණය ලබාගත් පුද්ගලයන් මුහුණ දෙන පීඩනයන් හේතුවෙන්, ණය පැහැර හැරීම් සම්බන්ධ ප්‍රතිපාදන වැඩිකිරීමට බැංකුවට සිදු වූ අතර, එය බැංකුවේ ලාභාදායීත්වයට අහිතකර ලෙස බලපා තිබේ. මෙම විශ්ලේෂණයට අදාළ වර්ෂයේ අක්‍රීය ණය ගාස්තුව රු. මිලියන 2,556 ක් වූ අතර, මෙය පෙර වසරේ අදාළ කාලසීමාවට සාපේක්ෂව 174% ක වැඩිවීමකි.
වියදම් කළමනාකරණය කිරීම සඳහා දැඩි ක්‍රියාමාර්ග ගනු ලැබුවද, බැංකුවේ සමස්ත මෙහෙයුම් වියදම් රු. මිලියන 588 දක්වා වර්ධනය වී තිබේ. මෙය පසුගිය වසරේ අදාළ කාලසීමාවට සාපේක්ෂව 16% ක වර්ධනයකි. රුපියලේ අගය අවප්‍රමාණය වීම සහ උපයෝගීතා සේවා ගාස්තු ඉහළ යාම මීට ප්‍රධාන වශයෙන් බලපා තිබේ.
මෙහෙයුම් ක්‍රියාකාරකම්වල ප්‍රතිඵලය රු. මිලියන 925 ක් වූ අතර, 2022 දෙසැම්බර් 31 දිනයෙන් අවසන් වූ වර්ෂය සඳහා බැංකුවේ අනුබද්ධ සමාගම්වල කොටස් හිමිකාරීත්වයද ඇතුළුව සියලුම බදුවලට පෙර බැංකුවේ ලාභය රු. මිලියන 788 ක් විය. බැංකුවේ බදු-පසු ලාභය වාර්තා වන්නේ රු. මිලියන 314 ක් වශයෙනි.
2022 දෙසැම්බර් 31 දින වනවිට, බැංකුවේ සමස්ත වත්කම් වටිනාකම රු. මිලියන 129,483 දක්වා 9.4% කින් වර්ධනය විය. පෞද්ගලික අංශයේ ණය සහ ණය දීමේ හැකියාවන් සංකෝචනය වීමත් සමග, වසර අවසානය වන විට බැංකුවේ ණය සහ අත්තිකාරම් ප්‍රමාණය රු. මිලියන 67,727 ක් විය. වර්ෂය තුළදී, තම වත්මන් ගනුදෙනුකරුවන්ට ණය දීම පුළුල් කරමින්, ණය සේවාවන්හි ගුණාත්මකභාවය පවත්වා ගන්නා අතරම, තෝරාගත් ණය දීමේ අවස්ථා පමණක් භාවිතා කිරීම කෙරෙහි සියලුම ව්‍යාපාර කාණ්ඩවල මූලික අවධානය යොමු වී තිබිණි. ආසියානු සංවර්ධන බැංකුවේ අරමුදල් යෝජනා ක්‍රමයක් හරහා, මෙරට සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරවල පැවැත්ම හා පුනර්ජීවනය වෙනුවෙන් අරමුදල් සැපයීමට බැංකුවට හැකියාව ලැබිණි. අවශ්‍යතාව පරිදි සැලසුම් කරගත හැකි ආපසු ගෙවීම් ක්‍රම හඳුන්වා දෙමින්, බලපෑමට ලක්වූ ගනුදෙනුකරුවන්ට අත්වැලක් වීමට බැංකුව දිගින් දිගටම කටයුතු කළ අතර, ශ්‍රී ලංකා මහ බැංකුව හඳුන්වා දුන් සහන විධිවිධානද ක්‍රියාවට නංවන ලදි.
වසර පුරාම ශ්‍රී ලංකා රුපියල් මෙන්ම විදේශ මුදල්වලින් ශක්තිමත් ද්‍රවශීලතා මට්ටමක් පවත්වා ගැනීමට බැංකුවට හැකි විය. පාරිභෝගික තැන්පතු ස්ථාවර ලෙස පැවති අතර, අනුපාතයන් වෙනස් වීමට සමගාමීව තැන්පතු අතිශය විධිමත් ලෙස කළමනාකරණය කිරීම නිසා තැන්පතු ප්‍රමාණය රු. මිලියන 92,592 දක්වා 11% කින් ඉහළ ගොස් තිබේ. 2022 දෙසැම්බර් 31 දින වනවිට බැංකුවේ ජංගම සහ ඉතුරුම් ගිණුම් (CASA) අනුපාතය 23% ක් වැනි යහපත් මට්ටමක පැවතිණි. බැංකුවේ 3 වන පෙළ ණය අනුපාතය 19% ක් විය.
බැංකුවේ ප්‍රාග්ධන සප්‍රමාණතා මට්ටම, නියාමන අවශ්‍යතාවන්ට වඩා පැහැදිලි ලෙසම ඉහළ මට්ටමක පවතී. 2022 දෙසැම්බර් 31 දින වනවිට බැංකුවේ සමස්ත ප්‍රාග්ධන අනුපාතය 18.26% ක් විය. ආර්ථික පරිසරයේ පවතින දුෂ්කරතා හේතුවෙන් Fitch මගින් බැංකුවේ ණය ශ්‍රේණිගත කිරීම ‘BBB-(lka) with a Negative Rating Watch’ ලෙස නැවත තහවුරු කරන ලදි.
Union Bank of Colombo PLC, UB Finance Company Ltd., සහ National Asset Management Ltd. යන සමාගම් වලින් සමන්විත යූනියන් බෑන්ක් සමූහ ව්‍යාපාරය, 2022 දෙසැම්බර් 31 දිනයෙන් අවසන් වූ වර්ෂය තුළ, රු. මිලියන 991 ක බදු-පෙර ලාභයක් සහ රු. මිලියන 423 ක බදු-පසු ලාභයක් වාර්තා කර ඇත. සමූහයේ වත්කම් වල සමස්ත වටිනාකම රු. මිලියන 136,679 ක් වූ අතර, එය 10% ක වර්ධනයකි. මේ සඳහා බැංකුවේ දායකත්වය 95% ක මට්ටමක පැවතීම, සමූහයේ ක්රියාකාරීත්වයේ වර්ධනයට බැංකුව මගින් ලැබී ඇති සුවිශාල දායකත්වයට සාක්ෂි දරයි.
අභියෝගකාරී වර්ෂයක් තුළ ගනුදෙනුකරුවන්ගේ වෙනස් වන අවශ්‍යතා දයාන්විත ලෙස වටහා ගනිමින්, ඩිජිටල් සේවාවන් පිළිබඳව විශේෂ අවධානයකින් යුතුව අඛණ්ඩව සේවාවන් සැපයීමට බැංකුව කටයුතු කළේ ය. තොරතුරු තාක්ෂණ පද්ධතිවල ආරක්ෂාව සහ විශ්වාසනීයත්වය වැඩිදියුණු කිරීම සඳහා බැංකුව අදාළ වර්ෂය තුළ ඩිජිටල් පරිවර්තන සහ තොරතුරු තාක්ෂණ යටිතල පහසුකම් ව්‍යාපෘති කිහිපයක් වෙනුවෙන් ආයෝජනයන් සිදුකළ අතර, දත්ත මධ්‍යස්ථානය සහ ATM Switch වැඩිදියුණු කිරීම ඒ අතරින් ප්‍රධාන තැනක් ගනී. එමෙන්ම දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, රේගුව සහ වරාය අධිකාරිය වෙත ගෙවීම් කිරීමේ පහසුකම සලසා දීම සඳහා LankaPay මාර්ගගත ගෙවීම් ජාලයට සම්බන්ධ වීමට බැංකුව පියවර ගත් අතර, ගනුදෙනුකරුවන්ට වැඩි පහසුවක් සැලසීමේ අරමුණින් තම නියෝජිත බැංකුකරණ සේවාව හරහා, කාගිල්ස් ෆුඩ්සිටි (Cargills FoodCity) ජාලය භාවිතා කරමින් මුදල් තැන්පත් කිරීමේ සහ ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා ගෙවීම් කිරීමේ පහසුකම ලබාදීමට බැංකුව කටයුතු කළේ ය. තවද, සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සහ අනෙකුත් ආයතනික පාරිභෝගිකයන්ගේ පහසුව වෙනුවෙන්, තම මුදල් කළමනාකාර විසඳුම වන Union Bank BizDirect සේවාව හරහා අදාළ ස්ථානයේදීම චෙක්පත් මුද්‍රණය කිරීමේ පහසුකම ඇතුළු තවත් පහසුකම් රාශියක් හඳුන්වා දෙන ලදි. එපමණක් නොව, වර්ෂය තුළ LMD මගින් ප්‍රකාශයට පත්කරනු ලබන ශ්‍රී ලංකාවේ වටිනාම සන්නාමයන් ලැයිස්තුවේ ඇතුලත් වීමත් සමග, මෙරට වඩාත්ම ගෞරවය දිනූ සමාගම් හා ආයතන ඇතුළත් LMD ලැයිස්තුවට ඇතුළත් වීමටද යූනියන් බැංකුව සමත් විය.
ඡායාරූප:
අතුල් මලික්, සභාපති, යූනියන් බැංකුව
ඉන්ද්‍රජිත් වික්‍රමසිංහ, අධ්යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී, යූනියන් බැංකුව


