2022 දෙවැනි කාර්තුවේදී මෙරට බැංකු ක්ෂේත්‍රයට දැවැන්ත අභියෝග රාශියකට මුහුණ දීමට සිදු විය. රුපියලේ අගය දැඩි ලෙස අවප්‍රමාණය වීම, පොලී අනුපාත ඉහළ යාම, බදු ඉහළ යාම, අපහායන ගාස්තු වැඩි වීම, සැපයුම් සීමා වීම සහ ආනයන අධෛර්යමත් කිරීම සඳහා ගන්නා ලද පියවර ආදිය හේතුවෙන් ණය වර්ධනය පහළ යාම ආදිය මීට ප්‍රධාන වශයෙන් හේතු විය.
මෙම අභියෝග හමුවේ පවා තම සේවාවන් එකතුව සහ පාරිභෝගික පදනම මැනැවින් කළමනාකරණය කරගනිමින්, ණය නැවත අයකර ගැනීම සඳහා කාර්යක්ෂම ලෙස පියවර ගන්නා ලද අතරම, තම ගනුදෙනුකරුවන්ට අඛණ්ඩ සේවාවක් සැපයීමට යූනියන් බැංකුවට හැකියාව ලැබිණි.
මූලික බැංකුකරණ ක්‍රියාකාරීත්වය සහ ලාභදායීත්වය
දුෂ්කර මෙහෙයුම් වාතාවරණයක් තුළ කටයුතු කිරීමට සිදු වුවද යූනියන් බැංකුවේ මූලික බැංකුකරණ ක්‍රියාකාරීත්වයේ වර්ධනයක් වාර්තා වී තිබේ. වසරේ මුල් මාස 6 ක කාලය තුළ බැංකුව රු. මිලියන 7,426 ක සමස්ත ආදායමක් වාර්තා කළ අතර, එය පෙර වසරේ අදාළ කාලසීමාවට සාපේක්ෂව 31% ක වර්ධනයකි.
වත්කම් එකතුව ප්‍රති-මිලකරණය මගින් ලැබුණු ප්‍රතිඵල සහ, පොලී වියදම් දූරදර්ශීව කළමනාකරණය කිරීම හේතුවෙන් ශුද්ධ පොලී ආදායම 19% කින් වර්ධනය විය. මේ නිසා ශුද්ධ පොලී ආන්තිකය 57bps කින් ඉහළ ගොස් තිබේ.
දේශීය හා ජාත්‍යන්තර මුදල් යැවීම්, ATM ගනුදෙනු, ක්‍රෙඩිට් හා ඩෙබිට් කාඩ්පත්, ප්‍රේෂණ සහ වෙළඳ ක්‍රියාකාරකම් වල වර්ධනය හේතුවෙන් ශුද්ධ ගාස්තු සහ කොමිස් ආදායම 24% කින් වර්ධනය විය. විදේශ විනිමය ආදායම සහ ලාභය හේතුවෙන් අනෙකුත් මෙහෙයුම් ආදායම්ද 141% කින් වර්ධනය වී තිබේ.
2022 ජූනි මස 30 දින වනවිට, අපහායන ගාස්තු සඳහා ප්‍රතිපාදන වෙන් කිරීමට පෙර මෙහෙයුම් ආදායම රු. මිලියන 3,575 ක් වූ අතර, එය 18% ක වර්ධනයකි. දුෂ්කර සාර්ව ආර්ථික තත්ත්වයන් හේතුවෙන් ණය ගෙවීම් ප්‍රමාද වීම නිසා, දූරදර්ශී පියවරක් වශයෙන්, ණය හානි සහ කළමනාකරණ ඒකාබද්ධ කිරීම් සඳහා වැඩි ඉඩක් වෙන්කිරීමට බැංකුව කටයුතු කළේ ය. මෙම කාලසීමාව තුළ බැංකුවේ අපහායන ගාස්තු රු. මිලියන 961 ක් වූ අතර එය පෙර වසරේ අදාළ කාලසීමාවට සාපේක්ෂව 120% ක ඉහළ යාමකි.
වියදම් කළමනාකරණය සම්බන්ධයෙන් දැඩි පියවර ගනු ලැබූවද, අදාළ කාලසීමාව තුළ බැංකුවේ මෙහෙයුම් වියදම්, පෙර වසරට සාපේක්ෂව 14% කින් වර්ධනය වී, රු. මිලියන 2,059 ක් ලෙස වාර්තා වී ඇත. රුපියලේ අගය අවප්‍රමාණය වීම සහ, ඊට සමගාමීව සිදු වූ ඉන්ධන වියදම් ඉහළ යාම ආදිය මීට මූලික වශයෙන් බලපා තිබේ.
මෙහි ප්‍රතිඵලයක් ලෙස, බැංකුවේ අනුබද්ධ සමාගම් වල හිමිකාරීත්ව කොටස් ද ඇතුළත්ව, බැංකුවේ බදු පෙර ලාභය 2022 ජූනි 30 දින වනවිට රු. මිලියන 304 ක් වූ අතර, බදු පසු ලාභය රු. මිලියන 152 ක් විය.
2022 ජූනි 30 දින වනවිට, බැංකුවේ සමස්ත වත්කම් ප්‍රමාණය රු. මිලියන 131,744 දක්වා, එනම් 11% කින් වර්ධනය විය. ණය සහ අත්තිකාරම් රු. මිලියන 74,796 දක්වා 10% කින් වර්ධනය වූ අතර, සියලු කාණ්ඩ වල ජංගම ගිණුම් හා ඉතුරුම් ගිණුම් විවෘත කිරීම දිරිගැන්වීමට පියවර ගැනීම නිසා පාරිභෝගික තැන්පතු රු. මිලියන 96,779 දක්වා, එනම් 16% කින් වර්ධනය වී ඇත. 2022 ජූනි 30 වන විට ජංගම ගිණුම් සහ ඉතුරුම් ගිණුම් අනුපාතයද 27.5% ක් වූ අතර, බැංකුවේ තුන්වන මට්ටමේ ණය අනුපාතය 6.89% ක් ලෙස පැවතිණි.
නියාමන අවශ්‍යතා වලට වඩා පැහැදිලිවම ඉහළින් පවතින යහපත් ප්‍රාග්ධන ප්‍රමාණතා මට්ටමක් පවත්වා ගැනීමට බැංකුවට හැකියාව ලැබී තිබේ. 2022 ජූනි 30 වනවිට බැංකුවේ සමස්ත ප්‍රාග්ධන අනුපාතය 16.34% ක් විය.
2022 ජූනි මස 30 දිනෙන් අවසන් වූ කාලසීමාව සඳහා, UB Finance Company Ltd. සහ National Asset Management Ltd. යන සමාගම් වලින් සමන්විත යූනියන් බෑන්ක් සමූහයේ බදු-පසු ලාභය රු. මිලියන 395 ක් විය. සමූහය තුළ බැංකුවේ හිමිකාරීත්ව ප්‍රතිශතය 94% ක් වන අතර, සමූහයේ සමස්ත වත්කම් වටිනාකම 12% කින් වර්ධනය වී, රු. මිලියන 139,428 ක් ලෙස වාර්තා වී තිබේ.
මෙහෙයුම් ක්‍රියාකාරීත්වය
අභියෝග මධ්‍යයේ වුවද සිය ණය කළඹ දූරදර්ශීව කළමනාකරණය කරගනිමින්, ණය ගුණාත්මකභාවය පවත්වා ගනිමින්, ණය සහ අත්තිකාරම්වල 29% ක වර්ධනයක් සහ තැන්පතුවල 39% ක වර්ධනයක් වාර්තා කරගැනීමට ආයතනික බැංකුකරණ අංශය සමත් විය.
නිසි ආයෝජන ක්‍රමෝපායන් සහ කෙටිකාලීන භාණ්ඩාගාර බිල්පත් මත වෙන්දේසි මිලකරණය නියමිත වේලාවට ක්‍රියාත්මක කිරීම තුළින්, බලපෑමට ලක් වූ රාජ්‍ය සුරැකුම්පත් කළඹ වඩාත් ඉක්මනින් යථා තත්ත්වයකට පත්කර ගැනීමට බැංකුවේ භාණ්ඩාගාරයට හැකි විය. ඇමරිකානු ඩොලර් පිළිබඳව විශේෂ අවධානයක් යොමුකිරීම සහ ආහාර, ඖෂධ, පොහොර, ඉන්ධන සහ ශිෂ්‍ය ගෙවීම් ආදිය සඳහා ප්‍රමුඛත්වය ලබාදීම වැනි පියවර ඔස්සේ, අත්‍යවශ්‍යව පැවති අපනයන සඳහා අත්වැලක් වීමටද එමගින් හැකියාව ලැබිණි.
පොලී අනුපාත සංශෝධනයන්ට සමගාමීව නව පාරිභෝගික සම්බන්ධතා නිර්මාණය කරගනිමින්, කාලීන තැන්පතු හරහා තම තැන්පතු පදනම පුළුල් කරගැනීමට පාරිභෝගික බැංකුකරණ අංශය කටයුතු කළ අතර, ඒ ඔස්සේ තැන්පතු වල 14% ක වර්ධනයක් සමග 27.5% ජංගම ගිණුම් සහ ඉතුරුම් ගිණුම් අනුපාතයක් වාර්තා කරගැනීමට දෙවැනි කාර්තුව තුලදී එම අංශය සමත් විය. එමෙන්ම ගනුදෙනුකරුවන්ගේ පහසුව වෙනුවෙන්, UBGO ජංගම දුරකථන යෙදවුම සහ, Agent Banking පදනම හරහා තෝරාගත් SLT-Mobitel සහ කාගිල්ස් ෆුඩ් සිටි අලෙවිසැල් වලදී මුදල් බැර කිරීම, ණය වාරික ගෙවීම සහ ක්‍රෙඩිට් කාඩ් බිල්පත් ගෙවීම් සිදුකිරීම ආදිය සඳහා අවස්ථාව සලසා දෙන ලදි.
2022 පළමු කාර්තුව තුළදී, ආසියානු සංවර්ධන බැංකුවේ අරමුදල් සමගින් විශේෂ වැඩසටහනක් ක්‍රියාවට නැංවීමට සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර අංශයට හැකියාව ලැබිණි. ව්‍යවසායිකාවන්ට සහ සුළු පරිමාණ තේ ව්‍යාපාර වලට අත්වැලක් වීම මෙම වැඩසටහනනේ මූලික අරමුණ විය. මීට අමතරව ණය ගෙවීම සඳහා වැඩි කාලයක් ලබාදීම සහ විශේෂ ගෙවීම් ක්‍රම හඳුන්වා දීම වැනි පියවර සමගින්, පවතින තත්ත්වයන් නිසා දැඩි බලපෑමකට ලක්වූ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන්ට සහාය වීම සඳහා ක්‍රමානුකූල සැලැස්මක් ක්‍රියාත්මක කරන ලදී. මීට අමතරව බැංකුව විසින් හඳුන්වා දෙන ලද මුදල් කළමනාකරණ විසඳුමක් වන Union Bank Biz-Direct සේවාව ඔස්සේ ජංගම ගිණුම් හා ඉතුරුම් ගිණුම් විවෘත කිරීමට සුළු හා මධ්‍යම පරිමාණ අංශය ඇතුළුව ව්‍යාපාර ක්ෂේත්‍රයන්ගේ නව ගනුදෙනුකරුවන් යොමු කරවීමට බැංකුව කටයුතු කළේ ය.


