යුනියන් බැංකුව 2019 මුල්‍ය වර්ෂය තුළ ශක්තිමත් කාර්යසාධනයක් වාර්තා කරයි

බැංකුවේ 

  • සියලු බදු පසු ලාභය රු. මිලියන 710 ක් දක්වා 3% ක වසරින් වසර වර්ධනයක්
  • ශුද්ධ පොළී ආදායම රු. මිලියන 4,479 ක් දක්වා 6% ක වසරින් වසර වර්ධනයක්
  • සමස්ත මෙහෙයුම් ආදායම රු. මිලියන 6,021 ක් දක්වා 9% ක වසරින් වසර වර්ධනයක්
  • 16.75% ක සමස්ත ප්‍රාග්ධන ප්‍රමාණාත්මතා අනුපාතය සමගින් ශක්තිමත් ශේෂ පත්‍රයක්

සමූහයේ 

  • සියලු බදු පසු ලාභය රු. මිලියන 804 ක් දක්වා 4% ක වසරින් වසර වර්ධනයක්
  • ශුද්ධ පොළී ආදායම රු. මිලියන 5,234 ක් දක්වා 2% ක වසරින් වසර වර්ධනයක්
  • සමස්ත මෙහෙයුම් ආදායම රු. මිලියන 6,916 ක් දක්වා 5% ක වසරින් වසර වර්ධනයක්
  • සමස්ත ප්‍රාග්ධන ප්‍රමාණාත්මතා අනුපාතය 36%

යුනියන් බැංකුව අභියෝගාත්මක සාර්ව ආර්ථික තත්ත්වයක් හමුවේ වුව ද 50% ක සියලු බදු පසු ලාභයේ කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරමින් 2019 මුල්‍ය වර්ෂය තුළ දැවැන්ත කාර්යසාධනයක් වාර්තා කිරීමට සමත් විය. එම වර්ෂය පුරාම මුල්‍ය ක්ෂේත්‍රයට බලපෑ අනපේක්ෂිත බලපෑම් රැසක් මධ්‍යයේ, යුනියන් බැංකුව සිය සේවා පෙළ ප්‍රති සැකසුම් කිරීම සහ දූරදර්ශී පිරිවැය කළමනාකරණය හරහා ආදායම් උපරිමකරණය සඳහා අඛණ්ඩව කටයුතු කළේය. එම වසර තුළ බැංකුව සිය ලාභයෙන් 66% ක් බදු ලෙස ගෙවා දැමූ අතර එය මුදලින් රු. බිලියනය ඉක්මවයි.

හර බැංකුකරණ වර්ධනය සහ ලාභය

වෙළඳපොළ අභියෝග හමුවේ වුව ද, යුනියන් බැංකුව ආයතනික, සුළු හා මධ්‍ය පරිමාණ සහ පාරිභෝගික බැංකුකරණ අංශ ඉලක්ක කර ගනිමින් දියත් කරන ලද ක්‍රමෝපායික ක්‍රියාමාර්ග සහ කැපීපෙනෙන භාණ්ඩාගාර කාර්යසාධනයේ සහයෝගය සමගින් සිය සමස්ත කාර්යසාධනය නියත තත්ත්වයක පවත්වා ගැනීමට සමත් විය. හර බැංකුකරණ කටයුතු මනා කළමනාකාරිත්වයේ ප්‍රතිඵලයක් ලෙස, බැංකුවේ ශුද්ධ පොළී ආදායම (NII) රු. මිලියන 4,479 ක් ලෙස 22.6 % ක වසරින් වසර වර්ධනය විය.

ගෙවී ගිය වසර සඳහා ශුද්ධ පොළී ආන්තිකය (NIM) 3.6% කි. ඒකකවල ආයෝජන ප්‍රතිලාභ පිළිබඳ සැලකීමේදී වත්මන් කාල පරිච්ඡේදය සඳහා ශුද්ධ පොළී ආන්තිකය 3.8% ක් ලෙස වාර්තා වනු ඇත. ඒකකවල ආයෝජන ප්‍රතිලාභ රු. මිලියන 227 ක් ලෙස වාර්තා වූ අතර එම අගය “ලාභය හෝ අලාභය හරහා සාධාරණ අගය මත මුල්‍ය මෙවලම් මගින් ශුද්ධ සාධාරණ අගය මත ලාභ/(අලාභ)” යටතේ ප්‍රාග්ධන ලාභය ලෙස වාර්තා කර ඇත.

ඔප්පු ගාස්තු සංශෝධන සිදු කෙරුණ ද, පුද්ගලික අංශයේ ණය ඉල්ලුම නොවෙනස්ව පැවතුණු බැවින් එය ශේෂ පත්‍රයේ වර්ධනයට බලපෑවේය. බැංකුවේ ණය සහ අත්තිකාරම් රු. මිලියන 77,358 ක් ලෙස සඳහන් විය. එය රු. මිලියන 3,609 ක, එනම් 4.9% ක වසරින් වසර වර්ධනයකි. පාරිභෝගික බැංකුකරණ අංශයේ ණය ලබා දීම එම වර්ධනය සඳහා ප්‍රධාන වශයෙන් බලපෑවේය. ක්‍රෙඩිට් කාඩ්පත් සහ ආයතනික ණය සේවා තුළ සිදු වූ කැපීපෙනෙන වර්ධනය ද ඒ සඳහා දායක විය.

වසර අවසානයේ බැංකුවේ තැන්පතු පදනම රු. මිලියන 76,532 ක් ලෙස වාර්තා විය. අඩු-පිරිවැය තැන්පතු ලබා ගැනීම කෙරෙහි බැංකුවේ ක්‍රමෝපායික ඉලක්කය යොමු වූ බැවින් ඒ සඳහා තැන්පතු පදනම ක්‍රමෝපායිකව ප්‍රතිසැකසුම් කිරීම අත්‍යවශ්‍ය විය. CASA (ජංගම සහ ඉතිරිකිරීමේ ගිණුම්) වල වර්ධන වේගය වසර පුරාම අඛණ්ඩව පැවති අතර ප්‍රධාන සේවා ඉලක්කගත ලෙස පුළුල් කිරීම ද ඊට බලපෑවේය. එහි ප්‍රතිඵලයක් ලෙස CASA පදනම රු. මිලියන 19,332 ක් ලෙස වසරින් වසර වර්ධනයක් පෙන්නුම් කළේය. බැංකුවේ සාමාන්‍ය CASA වර්ධනය 16 % ක වසරින් වසර වර්ධනයක් පෙන්නුම් කළ අතර CASA මිශ්‍රිතය 25% ක වර්ධනයක් පෙන්නුම් කළේය.

ගාස්තු ආදායම් සඳහා බැංකුව අඛණ්ඩව සිය ක්‍රමෝපායික ක්‍රියාමාර්ග සාර්ථකව දියත් කළ අතර එහි ප්‍රතිඵලයක් ලෙස ගාස්තු සහ කොමිස් මුදල් ආදායම රු. මිලියන 101 කින් වර්ධනය කර ගැනීමට බැංකුව සමත් විය. එය 10.5% ක වසරින් වසර වර්ධනයකි. බැංකුවේ ක්‍රෙඩිට් කාඩ්පත් ගාස්තුවල සිදු වූ කැපීපෙනෙන වර්ධනය මෙන්ම බැංකු රක්ෂණ ගාස්තු සහ ඇපකරු ආදායම්වල ගලා ඒම ද මෙම වර්ධනය සඳහා ප්‍රධාන වශයෙන් දායක විය. 2019 වසර තුළ ආනයන සහ අපනයන ක්ෂේත්‍ර තුළ සිදු වූ දැවැන්ත පසුබෑම හේතුවෙන් වෙළඳ ආදායමේ සිදු වූ පසුබෑම ගාස්තු ආදායමට අහිතකර ලෙස බලපෑවේය.

ශුද්ධ වෙළඳ සහ වෙනත් ආදායම් රු. මිලියන 686 ක් ලෙස වාර්තා වූ අතර එය පසුගිය වසර සමග සැසඳීමේදී 14.2% ක අඩු වීමකි. විනිමය ආදායම්වල ඇති වූ පසුබෑම ඊට මූලික හේතුවයි. බැංකුවේ භාණ්ඩාගාරය ප්‍රාග්ධන ආදායම්වල 89.4% ක වර්ධනයක් අත්කර ගනිමින් සැලකිය යුතු කාර්යසාධනයක් පෙන්නුම් කළේය. එම වර්ධනය මුදලින් රු. 446 කි. ඒකකවල ආයෝජන ආදායම රු. මිලියන 227 ක් ලෙස ස්ථිර මට්ටමක පැවතියේය. රුපියල අවප්‍රමාණය වීම හේතුවෙන් වෙනත් මෙහෙයුම් ආදායම් 96.2% කින් අඩු විය. ගත වූ වසර තුළ සිදු වූ අරමුදල් හුවමාරු ප්‍රමාණය ද එම අඩු වීමට බලපෑවේය. අහිතකර සාර්ව ආර්ථික තත්ත්ව වෙළඳ ධාරිතාවල අඩු වීමට ප්‍රධාන වශයෙන් බලපෑ අතර එය සමස්ත වෙළඳ ආදායමේ අඩු වීමට ද හේතු විය. බැංකුව සතුව වෙළඳ කොටස් නොමැති අතර ශේෂ පත්‍ර  දිනය වන විට කිසිඳු කොටස් අරමුදලක ආයෝජනය කර නොමැත. ප්‍රධාන වශයෙන් ශුද්ධ පොළී ආදායම හේතුවෙන් හර බැංකුකරණ ක්‍රියාකාරකම්වල සිදු වූ වර්ධනය සහ අඛණ්ඩ මුල්‍ය කාර්යසාධනය බැංකුවේ සමස්ත මෙහෙයුම් ආදායම 13.9% කින් වර්ධනය කිරීමට දායක විය. එම අගය රු. මිලියන 6,021 කි. 2019 වර්ෂය තුළ සමස්ත මෙහෙයුම් ආදායම සඳහා පාරිභෝගික සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශ දැක්වූ දායකත්වය 51% ක් දක්වා වර්ධනය විය.

යුනියන් බැංකුවේ අක්‍රිය ණය අනුපාතිකය (NPL) 2019 වර්ෂය තුළ 5.03% කින් වර්ධනය වූයේ එම වර්ෂය තුළ පැවති සාර්ව ආර්ථික අභියෝග මැනවින් පිළිබිඹු කරමිනි.  වර්ෂය තුළ වැඩිම අක්‍රිය ණය ප්‍රමාණයක් වාර්තා වූයේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශයෙනි. ගත වූ වසරේ අපහායන ගාස්තුව රු. මිලියන 390 ක් ලෙස වාර්තා වූ අතර එය 14.0% ක වසරින් වසර වර්ධනයකි.

බැංකුවේ මෙහෙයුම් වියදම් රු. මිලියන 3,830 ක් ලෙස වාර්තා වූ අතර එය 2.7% ක වසරින් වසර වර්ධනයකි. ක්ෂය වීම්, කාලික ණය නිදහස් කිරීම් සහ පරිහරණ වත්කම් ඇතුළු වෙනත් පිරිවැය 2% ක වර්ධනයක්, එනම් රු. මිලියන 1,947 ක වර්ධනයක් පෙන්නුම් කළේය. 2019 ජනවාරි මස 1 වනදා සිට බැංකුව SLFRS 16 “කල්බදු” සංකල්පය සිය මෙහෙයුම් කටයුතු සඳහා යොදා ගත්තේය. සංසන්දය කෙරෙන අගයන් පසුගිය වසරේ LKAS 17 විගණන ප්‍රමිතියට අනුව ගණනය කෙරිණි. ඒ අනුව, පරිහරණ වත්කම් ශේෂ පත්‍රයේ සඳහන් කර ඇති අතර 2018 වසරේ වෙනත් පිරිවැය යටතේ කුලී පිරිවැය යටතේ සඳහන් කරනවා වෙනුවට කාලික ණය නිදහස් කිරීම් ක්ෂය වීම් සහ කාලික ණය නිදහස් කිරීම් යටතේ දක්වා ඇත. තවද, ඉන් කොටසක් කල්බදු වගකීම් මුල්‍ය පිරිවැයක් ලෙස පොළී පිරිවැය යටතේ වාර්තා කර ඇත.

බැංකුවේ පිරිවැය සහ ආදායම අතර අනුපාතය 71% සිට 64% දක්වා වර්ධනය වූ අතර එය 2019 වසරේදී බැංකුව අත්කර ගත් සුවිශේෂී ජයග්‍රහණයකි. මෙහෙයුම් ආන්තිකය රු. මිලියන 2,191 කින් වර්ධනය වූ අතර එඋඅ ප්‍රතිශතයක් ලෙස 41% ක වසරින් වසර වර්ධනයකි. 2.7% ක් ලෙස වාර්තා වූ පිරිවැය වර්ධනය සමග 13.9% ක ශීඝ්‍ර ආදායම් වර්ධනයකට හිමිකම් කීමට යුනියන් බැංකුව සමත් වීම ඊට ප්‍රධාන වශයෙන් හේතු විය. ඵලදායී ආදායම් සහ පිරිවැය කළමනාකරණය හේතුවෙන් බැංකුවට අත්කර ගත හැකි වූ කැපීපෙනෙන ඵල්දායිතාව සහ මෙහෙයුම් කාර්යක්ෂමතාව එමගින් මනාව පිළිබිඹු විය.

ආයෝජකයන් අතර බෙදා දෙන ලද කොටස් ලාභය රු. මිලියන 104 ක් වූ අතර එය රු. මිලියන 69.2 ක වසරින් වසර වර්ධනයකි. බැංකුවේ අනු සමාගමක්වන යූබී ෆිනෑන්ස් සමාගම මෙම වර්ධනයේ ප්‍රධානත ම හවුල්කරුවාය.

ගත වූ වසර තුළ යුනියන් බැංකුව වාර්තා කළ ලාභය රු. මිලියන 710 කි. එය 2018 වසරේ ලාභය වූ රු. මිලියන 473 සමග සැසඳීමේදී 50.3% ක දැවැන්ත වර්ධනයකි. රාජ්‍ය සුරැකුම්පත් තුළ ආයෝජන තක්සේරු කිරීම්වල බලපෑම මත වෙනත් පරිපූර්ණ ආදායම්වල අගය රු. මිලියන 346 ක් ලෙස වාර්තා විය. වසර පුරා පැවති වාසිසහගත වෙළඳපොළ අනුපාතික විචලන ඒ සඳහා මූලිකව බලපෑවේය.

ප්‍රාග්ධන ප්‍රමාණාත්මතා අනුපාතිකය වසර පුරාම ශක්තිමත්ව පවත්වා ගැනීමට බැංකුව සමත් වූ අතර වසර අවසාන වන විට 16.75% ක ශක්තිමත් හර ප්‍රාග්ධන අනුපාතිකයක් වාර්තා විය.

යුනියන් බැංකුවත් එහි අනු සමාගම්වන යූබී ෆිනෑන්ස් සහ නැෂනල් ඇසට් මැනේජ්මන්ට් ලිමිටඩ් සමාගමත් ඇතුළත් සමූහයේ සියලු බදු පසු ලාභය රු. මිලියන 804 ක් ලෙස වාර්තා වූ අතර එය 50.4% ක වසරින් වසර වර්ධනයකි. සමූහයේ සමස්ත වත්කම් රු. මිලියන 129,840 ක් ලෙස සඳහන් විය. සමූහයේ ශේෂ පත්‍රයෙන් 93.8% කට යුනියන් බැංකුව හිමිකම් කියන බැවින් සමූහයේ කාර්යසාධනය සඳහා ප්‍රධානත ම දායකත්වය හිමි වූයේ යුනියන් බැංකුවෙනි.

අහියෝග හමුවේ තිරසර ව්‍යාපාරික වර්ධනයක්

2019 වසර තුළ පැවති සාර්ව ආර්ථික අභියෝග හේතුවෙන් සමස්තයක් ලෙස බැංකුකරණ ක්ෂේත්‍රය අභියෝගයට ලක් වුව ද සිය ප්‍රධානත ම ව්‍යාපාරික අංශ අඛණ්ඩව වර්ධනය කර ගැනීමට බැංකුව සමත් විය.

ආයතනික, සුළු හා මධ්‍ය පරිමාණ සහ පාරිභෝගික බැංකුකරණ අංශ යුනියන් බැංකුවේ සේවා පෙළ වර්ධනය සඳහා තවදුරටත් දායකත්වය ලබා දුන්නේය. ක්‍රමෝපායිකව වැදගත් යයි හඳුනා ගත් පාරිභෝගික අංශ ඉලක්ක කර ගනිමින් සිදු කරන ලද තෝරා ගත් අත්කර ගැනීම් ඒ සඳහා මනා සහයෝගයක් ලබා දුන්නේය. අභියෝගාත්මක සාර්ව ආර්ථික පරිසරය තුළ පවා යුනියන් බැංකුවේ භාණ්ඩාගාරය 2019 වසර තුළ ඉහළ කාර්යසාධනයක් පෙන්නුම් කරමින් කැපීපෙනෙන ප්‍රාග්ධන ලාභ සහ ගාස්තු හා කොමිස් මුදල් ආදායම් සමගින් බැංකුවේ ආදායමට සුවිශේෂී දායකත්වයක් ලබා දුන්නේය. අහිතකර වෙළඳපොළ තත්ත්වය සුළු හා මධ්‍ය පරිමාණ අංශයට විශාලත ම බලපෑම ඇති කළේය. සිය දිගුකාලීන අරමුදල් අවශ්‍යතා පිළිබඳ අවධානය යොමු කරමින් යුනියන් බැංකුව එම අසීරු කාල පරිච්ඡේදය තුළ ද එම අංශයට අඛණ්ඩව සහයෝගය ලබා දුන්නේය. සූක්ෂ්ම අවදානම් කළමනාකරණ වැඩසටහන් හරහා සේවා පෙළෙහි ප්‍රමිතිය පවත්වා ගැනීමට බැංකුව මේ අතර කටයුතු කළේය. විශේෂයෙන් පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් අනතුරුව ආයතන සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායවලට ඇති වූ දැඩි බලපෑම හේතුවෙන් ඔවුන් වෙනුවෙන් සහන වැඩසටහන් සහ සහන කාල ලබා දෙමින් අසීරු කාලයේදී ඔවුන්ගේ ව්‍යාපාර නොනැසී පවත්වාගෙන යාමට අවශ්‍ය සහයෝගය ලබා දීමට යුනියන් බැංකුව ඉදිරිපත් විය. දූරදර්ශී සේවා ලාභ කළමනාකරණය සහ නව අත්කර ගැනීම් සහ හඳුනාගත් අංශවල හිමිවීම්වල වර්ධනය හරහා බැංකුවේ ආයතනික බැංකුකරණ අංශය ඉතා යහපත් කාර්යසාධනයක් වාර්තා කළේය. යුනියන් බැංකුවේ BizDirect සේවාව අඛණ්ඩව බැංකුවේ ආයතනික සහ සුළු හා මධ්‍ය පරිමාණ සේවාලාභීන් හට ව්‍යාප්ත කිරීමට බැංකුව කටයුතු කළේය. එම සේවාවේ මුල්‍ය කළමනාකරණ විශිෂ්ටත්වය වෙනුවෙන් 2019 ගෝලීය ව්‍යාපාර දර්ශන සම්මාන උළෙලේදී ශ්‍රී ලංකාවේ විශිෂ්ටත ම මුදල් කළමනාකරණ බැංකුව ලෙස යුනියන් බැංකුව සම්මානයට පාත්‍ර විය.

උකස් ණය ඉලක්කකර ගනිමින් දියත් කරන ලද ක්‍රමෝපාය සහ ක්‍රෙඩිට් කාඩ්පත් අත්කර ගැනුම් සඳහා දියත් කරන ලද වේගවත් සැලසුම් හේතුවෙන් බැංකුවේ ණය අත්කර ගැනුම්වල වර්ධනය සඳහා පාරිභෝගික බැංකුකරණ අංශය තවදුරටත් ප්‍රමුඛ දායකත්වයක් ලබා දුන්නේය. බැංකු ශාඛා සහ තෝරාගත් පාරිභෝගික අංශ තුළ දියත් කරන ලද ඉලක්කගත වැඩසටහන් බැංකුවේ CASA සහ තැන්පතු වර්ධන ඉලක්ක සපුරා ගැනීමට දායක විය. තාක්ෂණික වැඩිදියුණු කිරීම් හරහා පාරිභෝගික පහසුව වැඩිදියුණු කිරීම සඳහාවන බැංකුවේ ඉලක්කය, ATM ජාලය සහ ඩිජිටල් බැංකුකරණ පහසුකම් ඇතුළු විකල්ප මාධ්‍ය හරහා 2019 වසර තුළ තවදුරටත් පුළුල් කෙරිණ. යුනියන් බැංකුවේ ජංගම දුරකථන බැංකුකරණ යෙදවුම තවත් විශේෂාංග සහ ක්‍රෙඩිට් කාඩ්පත් ස්වයං සේවා පහසුකම ද සමගින් තවදුරටත් වැඩිදියුණු කෙරිණි. 2019 වසරේදී යුනියන් බැංකුවේ නවත ම ආයතනික වෙබ් අඩවිය හඳුන්වා දෙන ලද අතර එම බැංකුවේ ඩිජිටල් දර්ශනය එමගින් මනාව පිළිබිඹු කෙරේ. එම නවත ම සහ වැඩිදියුණු කරන ලද වෙබ්අඩවිය එක්සත් ජනපදයේ dotCoMM සම්මාන උළෙලේ මුල්‍ය කාණ්ඩය යටතේ රන් සම්මානයෙන් ද පිදුම් ලැබීය.

ප්‍රධාන පාරිභෝගික සබඳතා ඵලදායී ලෙස කළමනාකරණය කිරීම සඳහා වසර තුළ පාරිභෝගික වැඩසටහන් රැසක් දියත් කෙරිණි. පාරිභෝගික, සුළු හා මධ්‍ය පරිමාණ සහ ආයතනික පාරිභෝගික අංශ නියෝජනය කරන ප්‍රධාන පෙළේ පාරිභෝගිකයන් හට ආර්ථික තත්ත්වය පිළිබඳ දැනුම ලබා ගැනීමටත්, සිය සබඳතා ජාලය පුළුල් කර ගැනීමටත් අවස්ථාව හිමිකර දෙමින් සංවිධාන කෙරුණු ‘CEO Breakfast Forum’ එම වැඩසටහන් අතර කැපී පෙනෙයි. එම වසර තුළදී පාරිභෝගික සහ ආයෝජන ප්‍රජාව සඳහා වෙනත් වැඩසටහන් රැසක් ද බැංකුව සංවිධාන කළේය.

දරුවන් සහ අධ්‍යාපනය ඉලක්කකර ගනිමින් යුනියන් බැංකුව සමාජයේ යහ පැවැත්ම සඳහා දක්වන කැපවීම යළිත් තහවුරු කරමින් තෝරාගත් ශාඛා කේන්ද්‍ර කර ගනිමින් ප්‍රජා සත්කාරක වැඩසටහන් රැසක් ද දියත් කළේය. අඩු වරප්‍රසාදලාභී පාසල්වල තත්ත්වය වැඩිදියුණු කිරීම සහ එම පාසල්වල දරුවන්ගේ ඉගෙනුම් පරිසරය නගාසිටුවීම එම ව්‍යාපෘතිවල ප්‍රධානත ම අරමුණු වේ.

“අභියෝගාත්මක වසරක මෙතරම් ශක්තිමත් කාර්යසාධනයක් ළඟා කර ගැනීමට හැකි වීම පිළිබඳ මා බෙහෙවින් සතුටු වනවා. සාර්ව ආර්ථික අභියෝග හමුවේ වුව ද යුනියන් බැංකුව පොළී ආදායම, සේවා පෙළ ප්‍රතිසැකසුම සහ දූරදර්ශී පිරිවැය කළමනාකරණය මත මූලික බැංකුකරණ වර්ධනයක් අත්කර ගැනීමට සමත්ව සිටිනවා. යුනියන් බැංකුව 2020 වසරේදී සිය 25 වන වියට පා තබන අතර එය අප වසරින් වසර අත්කර ගත් සාර්ථකත්වය කියාපාන සංධිස්ථානයක් වනු ඇති. බැංකුව සේවා සපයන ඉලක්කගත පාරිභෝගික අංශවල ප්‍රමුඛත ම බැංකුකරණ සහකරු බවට පත් වීම 2020 වසරේ මැදිකාලීන ක්‍රමෝපායික සැලසුමයි. 2020 වසරේදී බැංකුවේ ව්‍යාපාරික පරිසරය තවදුරටත් වැඩිදියුණු වනු ඇති බවත්, පාරිභෝගික, ආයතනික, සුළු හා මධ්‍ය පරිමාණ සහ භාණ්ඩාගාරික අංශ අඛණ්ඩව වර්ධනය වනු ඇති බවත් අපගේ විශ්වාසයයි. ක්‍රමෝපායික වර්ධන අංශ, දූරදර්ශී සේවා පෙළ පුළුල් කිරීම සහ සැම ඇතුළත් බැංකුකරණ එළඹුම සමගින් 2020 වසරේදී යුනියන් බැංකුවේ වර්ධනය සඳහා මාවත විවර වනු ඇත,” යනුවෙන් යුනියන් බැංකුවේ අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී ඉන්ද්‍රජිත් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

බැංකු

  • Amana Bank PLC
  • Bank of Ceylon
  • Cargills Bank Ltd
  • Citibank
  • Commercial Bank of Ceylon PLC
  • DFCC Bank
  • Hatton National Bank PLC
  • HDFC Bank
  • HSBC Ltd
  • National Development Bank PLC
  • Nations Trust Bank
  • Pan Asia Banking Corporation
  • People’s Bank
  • Public Bank Berhard
  • Sampath Bank PLC
  • Seylan Bank PLC
  • Standard Chartered Bank

ආයතන

  • Merchant Bank of Sri Lanka Finance
  • Central Finance PLC
  • Commercial Leasing and Finance PLC
  • HNB Finance
  • LB Finance PLC
  • People’s Leasing and Finance PLC
  • Softlogic Finance Plc
  • Singer Finance (Lanka) PLC